නවසීලන්ත ක්‍රීඩිකාවෝ එකට එක කරයි

Sri Lanka Women tour of New Zealand

46

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති 2 වැනි තරගය කඩුලු 7කින් ජයගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-1ක් ලෙසින් සම කළා.  

Christchurch හී Hagley Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 113ක් ලබා ගත් අතර එම ඉලක්කය නවසීලන්ත ක්‍රීඩිකාවන් පසු කරන්නේ කඩුලු 3ක් පමණක් දැවී පන්දු 9ක් ද ඉතිරි කර ගනිමිනුයි.  

අද තරගයේ දී ශ්‍රී ලංකාව පෙර තරගයට එක් වූ සුපුරුදු කණ්ඩායම ම එක් කර තිබූ අතර නවසීලන්තය වෙනුවෙන් Rosemary Mair වෙනුවට 22 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන  Flora Devonshire එක් කර තිබුණා. එය ඇයගේ මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ප්‍රවිශ්ඨයයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, මනුදි නානායක්කාර, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය),  සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය, මල්කි මදාරා. 

 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Suzie Bates (නායිකාව), Georgia Plimmer, Emma McLeod, Brooke Halliday, Izzy Sharp, Maddy Green, Jess Kerr, Flora Devonshire, Polly Inglis (කඩුලු රකින්නිය), Eden Carson, Bree Illing. 

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක කණ්ඩායම සතු කළ අතර ඒ අනුව සුපුරුදු ලෙසින් ම චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කළා 

ඔවුන්ගේ ලකුණු සබඳතාව පන්දු 3ක ලකුණකට පමණක් සීමා වුනා. විශ්මි ගුණරත්න නැවතත් අසාර්ථක වෙමින් තම ඉනිම නිමා කළා. ඇයට මෙම තරගයේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. අනතුරු ව පිටියට එක් වූ හර්ෂිතා සමරවික්‍රම ද ලබා ගන්නේ ලකුණු 11ක් පමණයි.  

පෙර තරගයේ දී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළ නායිකා චමරි අතපත්තු ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියා. ඒ වෙද්දී ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටි අතර ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3කට ලකුණු 46ක් ලෙසයි.   

අනතුරු ව කවීෂා දිල්හාරි පන්දු 12ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 12කට තම ඉනිම අතහරිද්දී මනුදි නානායක්කාර සහ නිලක්ෂිකා සිල්වා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 54ක සබඳතාවක් ශ්‍රී ලංකා ඉනිමට එක් කරනවා.  

මනුදි නානායක්කාර පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. නිලක්ෂිකා සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20ක්. ඇය ඒ වෙනුවෙන් පන්දු 22ක් වැය කරන අතර ඊට හතරේ පහරක් ද එක් කරනවා.  

අනතුරු ව සුගන්දිකා කුමාරි ලකුණකට දැවී යන අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට අනුෂ්කා සංජීවනී ලකුණක් ද සහ මල්කි මදාරා ලකුණු 2ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැදී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Bree Illing සහ Jess Kerr කඩුලු ද්විත්වය බැගින් ද, Brooke Halliday සහ Flora Devonshire කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 8කට දැවී ගිය ද එතැන් සිට තරගයේ පාලනය නායිකා Suzie Bates පවරා ගත්තා. ඇය ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.  

ඒ අතර තුර ඇය Emma McLeod (11) සමඟ එකතු වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 34ක් ද සහ Brooke Halliday සමඟ එකතු වෙමින් 3 වැනි කඩුල්ල සඳහා පන්දු 45ක දී ලකුණු 43ක සබඳතාවක් ද එක් කරනවා.  

Brooke Halliday තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද සහ Izzy Sharp පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.  

නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වය, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී විසින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී  113 (20.0) චමරි අතපත්තු 23, මනුදි නානායක්කාර 35, නිලක්ෂිකා සිල්වා 20, Bree Illing 2/18, Jess Kerr 2/29

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 117 (18.3) Suzie Bates 47, Brooke Halliday නොදැවී 47, අචිනි කුලසූරිය 1/11

 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

  • තරගයේ වීරයා – Suzie Bates (නවසීලන්තය)

දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගය මාර්තු මස 18 වැනිදා Dunedin හී University Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා තරග සංචාරයේ  උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<