ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුබවාදී ආරම්භයක් ලබා ගනී

Sri Lanka Women tour of New Zealand

77
Sri Lanka women's Tour of New Zealand - 1st T20

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (14) සමත් වුනා. 

Christchurch හී Hagley Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 101ක් ලබා ගත් අතර එම ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසු කරන්නේ කඩුලු 3ක් පමණක් දැවී පන්දු 35ක් ද ඉතිරි කර ගනිමිනුයි.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මනුදි නානායක්කාර සහ මල්කි මදාරා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් අතර නවසීලන්තය වෙනුවෙන් Bree Illing, Emma McLeod, Izzy Sharp සහ Polly Inglis විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය),  මනුදි නානායක්කාර, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය, මල්කි මදාරා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Suzie Bates (නායිකාව), Georgia Plimmer, Emma McLeod, Brooke Halliday, Izzy Sharp, Maddy Green, Jess Kerr, Polly Inglis (කඩුලු රකින්නිය), Rosemary Mair, Eden Carson, Bree Illing.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.

ඒ අනුව ඉනිම ආරම්භ කළ පිතිකාරිනියන් දෙදෙනා ම පළමු Power Play අවස්ථාවේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඉන් නතර නොවන ඔවුන් නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 60ක් වෙද්දී දවා ගැනීමට ද සමත් වෙනවා.

මෙසේ කඩා වැටෙන ඉනිම යම් තරමකින් හෝ ගොඩ ගැනීමට දායකත්වය දැක් වූයේ තම පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට එක් වූ 18 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී Emma McLeod. අංක 3 පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිසි ඇය අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.

ඇයට අමතර ව ඉනිම ආරම්භ කළ නායිකා Suzie Bates පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අද විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් මල්කි මදාරා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කවීෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු ද්විත්වය බැගින් ද සහ චමරි අතපත්තු කඩුල්ලක් දවා ගත්තා.

හඹා යන ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් වූයේ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 46ක් ලබා ගත්තා. එහි දී විශ්මි ගුණරත්න පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 7ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව බිඳ දමනවා.

ඉන් අනතුරු ව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම ද ලබා ගන්නේ ලකුණු 2ක් පමණක් වන අතර කවීෂා දිල්හාරි දුවද්දී දැවී යමින් කඩුල්ලට ප්‍රතිවාදීන්ට පූජා කළා. ඒ වෙද්දී ඇය පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 66ක් බවට තිබූ අවස්ථාවේ පිටියට එක් වූ නිලක්ෂිකා සිල්වා, චමරි අතපත්තු සමඟ එක් වෙමින් සිව් වැනි කඩුල්ලට පන්දු 19ක දී ලකුණු 36ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා.

ඒ වෙද්දී චමරි අතපත්තු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 13 වැනි අර්ධ ශතකයයි.

තරගය නිමා වන විට නිලක්ෂිකා සිල්වා පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Jess Kerr ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 101 (18.5) Suzie Bates 21, Emma McLeod 44, ඉනෝෂි ප්‍රියදර්ශනී 2/25, මල්කි මදාරා 3/14, කවීෂා දිල්හාරි 2/18

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම කඩුලු 3ක් දැවී 102 (14.1) චමරි අතපත්තු නොදැවී 64, නිලක්ෂිකා සිල්වා නොදැවී 12, Jess Kerr 2/18

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • තරගයේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි විස්සයි විස්ස තරග මාර්තු මස 16 වැනිදා Christchurch හී Hagley Oval ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා තරග සංචාරයේ  උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<