හර්ෂිතා අර්ධ ශතකයකින් වැඩ අල්ලයි

Sri Lanka Women tour of New Zealand

1

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (04) Napier හී McLean Park ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුනා.  

තරගය පන්දුවාර 36.4කට සීමා වූ අතර එහි දී හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීම කැපී පෙණුනා. ඇයගේ අර්ධ ශතකය තමන් මුහුණ දුන් 83 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඇය නොදැවී ලකුණු 66ක් ලබා සිටියා.  

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චේතනා විමුක්ති සහ මනුදි නානායක්කාර ද නවසීලන්තය වෙනුවෙන් Bree Illing, Emma McLeod සහ Polly Inglis ද කාන්තා එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුනා.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, මනුදි නානායක්කාර, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, චේතනා විමුක්ති, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය. 

 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Suzie Bates (නායිකාව), Isabella Gaze (කඩුලු රකින්නිය), Maddy Green, Brooke Halliday, Georgia Plimmer, Emma McLeod, Bree Illing, Jess Kerr, Eden Carson, Hannah Rowe, Polly Inglis. 

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායිකාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන ලෙසින් ආරාධනා කළා.  ඒ අනුව විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ඉනිම ආරම්භ කළ අතර ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී චමරි අතපත්තුගේ ඉනිම ලකුණු 9කට සීමා වුනා. ඒ වෙද්දී ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ඉනිමට ඇතුලත් කර ගෙන තිබුණා.  

අනතුරු ව විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කළා. විශ්මි ගුණරත්න පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටුණා.  

අනතුරු ව කවීෂා දිල්හාරි ලකුණු 6කට ද සහ මනුදි නානායක්කාර ලකුණකට ද දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 93ක් බවට පත් වුනා. එම අවස්ථාවේ පිටියට එක් වූ නිලක්ෂි ද සිල්වා හා එක් වූ හර්ෂිතා සමරවික්‍රම 5 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කරනවා.  

නිලක්ෂි ද සිල්වා පන්දු 33කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 17ක් එක් කර ගනිමින් සිටිය දී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

අනතුරු ව තවත් පන්දු 10ක් යැවුණ තැන වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූවා.  37 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වූ එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් ලෙසයි.   

ඒ වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද සහ අනුශ්කා සංජීවනී පන්දු 4කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා. 

කඩුලු ලබා ගැනීමේ දී අද දවසේ එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් 21 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Bree Illing ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව නායිකා Suzie Bates කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 147 (36.4) විශ්මි ගුණරත්න 30, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 66, නිලක්ෂි ද සිල්වා 17, Bree Illing 2/10 

තරගයේ විසඳුමක් නෑ.  

දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය මාර්තු මස 07 වැනිදා Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා තරග සංචාරයේ  උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<