කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවුරුදු කන්න දකුණු අප්‍රිකා යයි

Sri Lanka Women tour of South Africa

242
Sri Lanka Women tour of South Africa

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් සඳහා මේ මස තෙවැනි සතියේ සිට අප්‍රේල් මාසයේ තෙවැනි සතිය දක්වා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වේ.  

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට එක් වෙන්නේ 2019 වසරේ පෙබරවාරි මාසයේ දී කළ තරග සංචාරයෙන් අනතුරුවයි. එම තරග සංචාරයේ දී ඔවුන් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය 3-0ක් ලෙසින් ද සහ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය ද 3-0ක් ලෙසින් පරාජයට පත් වෙනවා.  

2024 විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය  

  • 1 වැනි තරගය – මාර්තු 27 වැනිදා, Benoni, Willowmoore Park හි දී. 
  • 2 වැනි තරගය – මාර්තු 30 වැනිදා, Potchefstroom, Senwes Park හි දී. 
  • 3 වැනි තරගය – අප්‍රේල් 03 වැනිදා, East London, Buffalo Park හි දී.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් සඳහා එක් වෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී චීනයේ පැවැති ආසියානු තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වට සහභාගී වීමෙන් අනතුරුවයි.  

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තාවෝ ඉන්දීයාව ඉදිරියේ පරාජය වෙමින් රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු වූවා.  

ඔවුන් රටවල් 2ක් අතර තරගාවලියකට එක් වෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ කළ තරග සංචාරයෙන් අනතුරුවයි. එම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1ක් ලෙසින් තරගාවලිය පරාජයට පත් වෙනවා.  

2024 එක්දින ජාත්‍යන්තර තරගාවලිය 

  • 1 වැනි තරගය – අප්‍රේල් 09 වැනිදා, East London, Buffalo Park හි දී. 
  • 2 වැනි තරගය –  අප්‍රේල් 13 වැනිදා, Kimberley, Diamond Oval හි දී.  
  • 3 වැනි තරගය – අප්‍රේල් 17 වැනිදා, Potchefstroom, Senwes Park හි දී. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක් වෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ කළ තරග සංචාරයෙන් අනතුරුවයි. එම තරග සංචාරය මෙම තරග සංචාරය ද ICC Women’s Championship 2022/25 තරග වාරයට ඇතුලත් තරග ලෙසයි සැලකෙන්නේ.  

මෙම තරගාවලියේ දී මෙතෙක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 15කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ තරග 4ක් පමණයි. තරග 8ක් පරාජය වෙද්දී ඉතිරි තරග 3 නිමා වී ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි. ලබා ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 11ක්.  

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ ප්‍රසාද ලකුණු 22ක් ලබා සිටින ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සිටින අතර 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 20ක් ලබා සිටින ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පසු වෙනවා.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියේ තරගයක් සඳහා අවසන් වරට සහභාගී වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිදු කෙරුණ එංගලන්ත සංචාරයේදීයි. එම තරගාවලිය තරග 3කින් සමන්විත වූ එම තරගාවලිය 2-0ක් ලෙසින් සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරනු ලබන අතර අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරගයක් ලෙසින් නම් කෙරෙනවා.  

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.  

එම තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<