අයර්ලන්ත කාන්තා එක්දින තරගාවලියත් ඇරඹේ

Sri Lanka Women Tour of Ireland

4
Sri Lanka Women Tour of Ireland

අයර්ලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලිය මේ මස 16 වැනිදා සිට Belfast හී Civil Service ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙන අතර දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින තරගය අගෝස්තු 18 වැනිදා ද සහ 3 වැනි එක්දින තරගය මේ මස 20 වැනිදා ද පැවැත්වීමට යෝජිතයි.

මෙම තරගාවලිය ICC Women’s Championship තරගාවලියට අයත් තරග බැවින් එහි ප්‍රතිඵලයන් කණ්ඩායම් 2ට ම වඩාත් වැදගත් වෙනවා. ඒනිසා ම මෙම තරගාවලිය වඩාත් උණුසුම් තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇති බවයි කාගේත් විශ්වාසය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී මේ දක්වා තරග 21කට සහභාගී වී ඇති අතර ඉන් තරග 8ක් ජයග්‍රහණය කරමින් නිමා කර තිබෙනවා. තරග 9ක් පරාජය වෙමින් සහ අනෙක් තරග 4 විසඳුමකින් තොරව අවසන් කර ඇති ඔවුන් ඒ අනුව මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

අයර්ලන්තය මෙම ලැයිස්තුවේ රැඳී සිටින්නේ 10 වැනි ස්ථානයේයි.

 ICC Women’s Championship තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව

  Teams Mat Won Lost Tie NR Point NRR
1 ඔස්ට්‍රේලියාව 18 13 3 0 2 28 2.002
2 එංගලන්තය 18 11 5 0 2 24 1.273
3 දකුණු අප්‍රිකාව 21 11 9 0 1 23 0.350
4 ඉන්දියාව 12 10 1 1 0 21 1.062
5 ශ්‍රී ලංකාව 21 8 9 0 4 20 -0.281

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වෙන්නේ ICC Women’s Championship තරගාවලියේ තමන් සහභාගී වූ අවසන් තරග 4 ජයග්‍රහණය කර තිබීමේ අභිමානයත් සමඟිනුයි. එමෙන් ම ඔවුන් නිමා වූ ආසියානු කුසලානයේ ශූරියන් වීමත් හේතුවෙන් මේ කෙරෙහි තිබෙන ආකර්ශනය තවත් වැඩි වී තිබෙනවා.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා – අයර්ලන්ත තරග ඉතිහාසය මෙතෙක් තරග 4කට පමණක් සීමා වී ඇති අතර එම තරග 4න් 3ක ම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා. අනෙක් තරගය නිමා වී ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.

ඔවුනොවුන්ගේ තරග ඉතිහාසයේ දෙරට ක්‍රීඩිකාවෝ ද්විත්ව රටවල් තරගාවලියක දී හමුවෙන පළමු අවස්ථාවයි මේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

මෙම තරගාවලියේ දී නැවතත් සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරෙන්නේ චමරි අතපත්තු වෙතයි. ඇය මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 47ක දී තම කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඇයත් සමඟින් මෙම තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් මෙම කණ්ඩායම ද නියෝජනය කරන අතර එය තරගාවලියේ වැඩි වාසි තම කණ්ඩායම වෙත ඈඳා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් සිටිනවා.

ඒ අතර තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, කඩුලු රකින පිතිකාරිනී අනුශ්කා සංජීවනී මෙන් ම පන්දු යවන්නියන් ලෙසින් දක්ෂතා දක්වන ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

 ඊට අමතර ව එක්දින වරම් නොලැබූ ශෂිනි ගිම්හානි සේ ම පළමු වරට 22 හැවිරිදි වියේ පසුවෙන කඩුලු රකින මැදි පෙළ පිතිකාරිනී කෞෂිනී නුත්‍යාංගනා ද මෙම කණ්ඩායම හා එක් කර තිබෙනවා.

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි ව එක් වෙන ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි සිල්වා, අනුශ්කා සංජීවනී, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, කෞෂිනි නුත්‍යාංගනා.

අයර්ලන්තය

නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ දී සේ ම මෙම තරගාවලියේ දී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩිකා Laura Delany වෙතයි. ඇය මේ දක්වා අයර්ලන්තය වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයක දී කණ්ඩායම මෙහෙයවා ඇති නායිකාව වන අතර මේ වන විට ඇය තරග 39ක් මෙහෙයවා තිබෙනවා.

එමෙන් ම ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 42කට මුහුණ දෙමින් අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1175ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.

පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දක්වන කඩුලු රකින පිතිකාරිනී Amy Hunter, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Leah Paul සහ Orla Prendergast, පන්දු යැවීමේ දක්ෂතා දක්වන Arlene Kelly, ඉදිරි පෙළ පිතිකාරිනී Rebecca Stokell සහ නවක ක්‍රීඩිකා Alice Tector ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

ඊට අමතර ව මෙම කණ්ඩායම සඳහා මෙතෙක් අයර්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් ලබා නොමැති කඩුලු රකින පිතිකාරිනී Joanna Loughran ද එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙන අයර්ලන්ත සංචිතය:

Gaby Lewis (නායිකා), Ava Canning, Alana Dalzell, Sarah Forbes, Amy Hunter, Arlene Kelly, Joanna Loughran, Aimee Maguire, Jane Maguire, Leah Paul, Orla Prendergast, Freya Sargent, Rebecca Stokell, Alice Tector.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<