අයර්ලන්තය තරගාවලිය සම කරයි

3
Sri Lanka Women Tour of Ireland 2024 - 2nd T20

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින්  තරගාවලිය 1-1ක් ලෙසින් සම කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ (12) රාත්‍රියේ සමත් වූවා.

තරගාවලියේ දෙරට අතර පැවැති පළමු තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් අතර අයර්ලන්තය ලැබූ මෙම තරග ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහි ව ලැබූ පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ජයග්‍රහණය බවට ද පත් වූවා.

Dublin හි Pembroke ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් පමණයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය වෙනස්කම් 2ක් බැගින් සිදු කරමින් පිටියට පිවිසියා. ඒ අතුරින් ශ්‍රී ලංකාව අමා කාංචනා සහ ශෂිනි ගිම්හානි කණ්ඩායමට එක් කර තිබූ අතර ඒ වෙනුවට සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී ගේ ස්ථාන අහිමි ව තිබුණා.

මෙම තරගයේ දී අයර්ලන්තය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට Coulter Reilly සමත් වූ අතර ඇයත් සමඟ පළමු වරට Jane Maguire ද කණ්ඩායමට එක් කර තිබුණා. ඒ වෙනුවට පෙර තරගයට ක්‍රීඩා කළ Una Raymond-Hoey සහ Cara Murray කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

අනුශ්කා සංජීවනී (නායිකාව සහ කඩුලු රකින්නිය), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අමා කාංචනා, සචිනි නිසංසලා, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ ශෂිනි ගිම්හානි.

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

Laura Delany (නායිකාව), Amy Hunter (කඩුලු රකින්නිය), Gaby Lewis, Orla Prendergast, Rebecca Stokell, Leah Paul, Coulter Reilly, Arlene Kelly, Ava Canning, Jane Maguire, Freya Sargent.

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර එම ඉනිමේ දී ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට ආරම්භක පිතිකාරිනි Gaby Lewis සමත් වුනා. මෙය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම ද වූ අතර ඊට පෙර ද ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට ඇය සමත් ව තිබෙනවා.

ඒ 2021 වසරේ දී ජර්මන් ක්‍රීඩිකාවන්ට එරෙහි ව පන්දු 60ක දී හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගනිමිනුයි.

මෙම තරගයේ දී ඇය පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත්තා. ඇය Orla Prendergast සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 119ක් ද සහ Rebecca Stokell (4*) සමඟ එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 25ක දී ලකුණු 34ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.

අයර්ලන්ත ඉනිම වෙනුවෙන් Orla Prendergast ද පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

කඩුලු දවා ගැනීමේ දී ශෂිනි ගිම්හානි සහ අචිනි කුලසූරිය කඩුල්ලක් බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරියන් ලෙසින් විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම පිටියට පිවිසිය ද ඔවුන්ට මෙම තරගයේ දී එතරම් ම දෙයක් කරන්නට හැකි වෙන්නේ නැහැ. විශ්මි ගුණරත්න ලකුණකට තම ඉනිම හැර යන විට ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ ලකුණු 10ක් ලෙසයි.

අනතුරු ව හසිනි පෙරේරා ද ලකුණු 10කට දැවී යනවා. එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමට ජීවය එක් කිරීමට හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කරනවා.

හර්ෂිතා සමරවික්‍රම තමන් මුහුණ දුන් 34 වැනි පන්දුවේ දී මෙම තරගාවලියේ දී පිට පිට ලබා ගන්නා ලද 2 වැනි අර්ධ ශතකය ද ලබා ගැනීමට සමත් වෙන අතර ඇය තම ඉනිම හැර යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලෙසයි.

එතැන් සිට පිටියට පිවිසි පිතිකාරිනියන්ට පිටියේ ස්ථාවර වීමට අයර්ලන්ත පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව නිලක්ෂිකා සිල්වා (10), අනුශ්කා සංජීවනී (8), අමා කාංචාන (11), සචිනි නිසංසලා (0) සහ අචිනි කුලසූරිය (0*) තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කර ගත්තා.

ඔවුන් එලෙසින් තම ඉනිම් නිමා කර ගනිද්දී එක් අන්තයක අසරණ වූ කවීෂා දිල්හාරි තම තරග 62ක් වන විස්සයි විස්ස ජාත්‍යන්ත තරග දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා. තමන් මුහුණ දුන් 46 වැනි පන්දුවේ දී සීමාවට ඉහළින් පන්දුව යැවූ කවීෂා දිල්හාරි තම මංගල අර්ධ ශතකය ලබා ගත් අතර තරගය අවසන් වන විට ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Orla Prendergast සහ Freya Sargent කඩුලු ද්විත්වයක් බැගින් දවා ගනිද්දී Ava Canning සහ Jane Maguire කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 173 (20.0) Gaby Lewis 119, Orla Prendergast 38, ශෂිනි ගිම්හානි 1/24

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 166 (20.0) හර්ෂිතා සමරවික්‍රම 65, කවීෂා දිල්හාරි නොදැවී 51, Freya Sargent 2/36, Orla Prendergast 2/28

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

  • තරගයේ වීරයා – Gaby Lewis (අයර්ලන්තය)
  • තරගාවලියේ වීරයා – Gaby Lewis (අයර්ලන්තය)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා Belfast හී Civil Service ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<