විශ්මිගේ ශතකයේ දිස්නය මැකී යයි

Sri Lanka Women Tour of Ireland

8
Sri Lanka Women Tour of Ireland 2024

විශ්මි ගුණරත්න විසින් තම මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට අනතුරුව ප්‍රතිවාදී Orla Prendergast විසින් රැස් කරන ලද ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ගිලිහී ගිය තරගයේ පාලනය සියතට ගැනීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ (16) රාත්‍රී සමත් වූවා.

ඒ අනුව සත්කාරක අයර්ලන්ත ක්‍රීඩිකාවෝ දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර තරග 3කින් සමන්විත වූ තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද සමත් වූවා. මෙම තරග ජයග්‍රහණය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද මංගල එක්දින තරග ජයග්‍රහණයයි.

Belfast හී Civil Service ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 260ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුල 7ක් පමණක් දැවී ලකුණු 261ක් ලබා ගනිමින් තරග 3කින් යුත් තරගාවලිය ද 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණියා.

අයර්ලන්ත ක්‍රීඩිකාවෝ තම එක්දින තරග ඉතිහාසයේ ලකුණු 200ක් ඉක්මවා ගිය තරගයක් හඹාගොස් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවයි මේ. ඔවුන් ඊට පෙර හඹාගොස් ජයග්‍රහණය කළ ඉහළ ම ලකුණු ප්‍රමාණය වූයේ 2022 වසරේ දී නෙදර්ලන්තය විසින් ලබා ගත් ලකුණු 185 හඹා යමිනුයි.

මෙම තරගයේ දී පළමු වරට එක්දින වරම් දිනා ගැනීමට අයර්ලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩිකා Alice Tector සමත් වුනා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සචිනි නිසංසලා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී.

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

Laura Delany (නායිකාව), Sarah Forbes, Amy Hunter (කඩුලු රකින්නිය), Orla Prendergast, Leah Paul, Rebecca Stokell, Arlene Kelly, Alice Tector, Jane Maguire, Alana Dalzell, Freya Sargent.

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කළ අතර එහි දී සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ඉනිම ආරම්භ කළා.

නමුත් ඉනිමේ 4 වැනි පන්දුවේ දී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම තම ඉනිම අවසන් කර ගැනීමට නායිකා චමරි අතපත්තුට සිදු වුනා. අනතුරු ව පළමු Power Play අවස්ථාවේ දී ම හර්ෂිතා සමරවික්‍රම ද දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 35 නතර ව තිබූ අතර ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.

අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 144ක දී ලකුණු 122ක සබඳතාවක් ගොඩ නැගීමට විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා සමත් වුනා. විශ්මි ගුණරත්න පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 101ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

18 වියැති විශ්මි ගුණරත්නගේ තරග 16ක් වන එක්දින ජාත්‍යන්තර පිටියේ මංගල ශතකයයි ඒ. එමෙන් ම ඇය ලබා ගත් මෙම ශතකයත් සමඟින් මෙරට එක්දින තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ ලාබාලත ම ක්‍රීඩිකාව මෙන් ම ශ්‍රී ලංකා ඉතිහාසයේ 2 වැනි ක්‍රීඩිකාව බවට පත් වීමට ද ඇය සමත් වුනා. ඇයට පෙර ශතක වාර්තා කළ එක ම ක්‍රීඩිකාව වන්නේ චමරි අතපත්තු වන අතර ඇය මේ දක්වා එක්දින ශතක 9ක් ලබා සිටිනවා.

විශ්මි ගුණරත්නගේ දැවී යෑමෙන් අනතුරු ව පසු පෙළ ක්‍රීඩිකාවෝ ද හොඳින් ලකුණු අතරට පිවිසීම කැපි පෙණුනා.

ඒ අතර හසිනි පෙරේරා පන්දු 72කට මුහණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගනිමින් තම 47ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද සමත් වුනා.

දැවී ගිය පිතිකාරියන් අතුරින් කවිෂා දිල්හාරි (16) සහ නිලක්ෂිකා සිල්වා (13) තම ඉනිම් අතහැර යද්දී අවසන් පන්දු 30 දී ලකුණු 36ක් ලබා ගැනීමට පසු පෙළ පිතිකාරිනියෝ සමත් වීම කැපී පෙණුනා. එහි දී අනුෂ්කා සංජීවනී ලකුණු 17ක් සහ සුගන්දිකා කුමාරි ලකුණු 18ක් ලබා ගන්නා ලද අතර ඉනිම අවසන් වන විට අනුශ්කා සංජීවනී නොදැවී ලකුණු 17ක් සහ අචිනි කුලසූරිය නොදැවී ලකුණු 3ක් ලබා සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී Orla Prendergast තම තරග 23ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Alana Dalzell සහ Arlene Kelly කඩුලු 2ක් බැගින් ද Alice Tector කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක අයර්ලන්ත ක්‍රීඩිකාවෝ තරගයට ප්‍රවිශ්ඨ වන්නේ තරමක් මන්දගාමීවයි. ඔවුන්ගේ පළමු පන්දුවාර 15 තුළ ලකුණු ලබා ගැනීමේ වේගය බවට පත් වන්නේ 3.25ක්.

එසේ වූවත් ඉදිරි පෙළ පිතිකාරිනියන් වූ Sarah Forbes පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත් අතර Amy Hunter ද පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය මෙන් ම ප්‍රධාන ප්‍රතිවාදිනිය වූයේ ද 22 හැවිරිදි වියේ පසුවෙන Orla Prendergast. ඇය පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා ගත්තා.

එය ඇයගේ 23ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මංගල ශතකය ද වූවා.

පන්දු යැවීමේ දී 23 හැවිරිදි වියේ පසුවෙන කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව අචිනි කුලසූරිය, සචිනි නිසංසලා සහ උදේශිකා ප්‍රබෝධනී කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 260 (50.0) විශ්මි ගුණරත්න 101, හර්ෂිතා සමරවික්‍රම 19, හසිනි පෙරේරා 46, Orla Prendergast 3/25, Alana Dalzell 2/37, Arlene Kelly 2/42

 

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 261 (49.2) Sarah Forbes 30, Amy Hunter 42, Orla Prendergast 122, Rebecca Stokell 19, කවීෂා දිල්හාරි 4/54

 

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

තරගයේ වීරයා – Orla Prendergast (අයර්ලන්තය)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය මේ මස 18 වැනිදා Belfast හී Civil Service ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<