Home Sinhala 17 හැවිරිදි Gaurගේ පන්දු හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්!

17 හැවිරිදි Gaurගේ පන්දු හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්!

10465
Getty Images
Getty Images

ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික විස්සයි විස්ස තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (09) එක්දින තරගාවලියේ පළමු තරගයට සහභාගි වුනා. නමුත් එහි දී ඔවුන්ට හිමි වුනේ කඩුලු 7ක පරාජයකුයි.

පසුගිය විස්සයි විස්ස තරගවල දී මෙන් එංගලන්තයට මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දී ඔවුන්ව අඩු ලකුණකට රඳවා ගැනීමේ අවස්ථාව අද ශ්‍රී ලංකාවට හිමි වුනේ නැහැ. ඒ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට අද තීරණාත්මක කාසියේ වාසිය මග හැරුනු නිසයි.

ශ්‍රී ලංකාවේ ශක්තීන් සහ දුර්වලතා ගැන හොඳින් තේරුම් ගෙන සිටින එංගලන්ත කාන්තා කණ්ඩායම ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මුලින් පන්දුවට පහර දීමේ වගකීම ශ්‍රී ලංකාව මත පැටෙව්වා. විස්සයි විස්ස තරගයකට වඩා වැඩි සංයමයකින් ඉනිම ගොඩ නැංවිය යුතු එක්දින තරග රටාවේ දී එය ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට කිසිසේත් පහසු වුනේ නැහැ.

සමස්ත කණ්ඩායමේ වටිනාම ක්‍රීඩිකාව වන චමරි අතපත්තු අද පළමු කඩුල්ල ලෙස දැවී යාම නිසා තත්ත්වය තවත් බරපතල වුනා. ලකුණු 10 දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් චමරි දැවී ගියේ එංගලන්ත කණ්ඩායමේ 17 හැවිරිදි ආරම්භක පන්දු යවන්නිය වන Mahika Gaurට කඩුල්ල හිමිකර දෙමින්. ඒ වන විට ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 22ක් පමණයි.

නැවත ක්‍රියාත්මක වුනු Mahika Gaur තම මීලඟ පන්දුවාරයේ දී අනුෂ්කා සංජීවනීගේ කඩුල්ලත් බිඳ හෙලුවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවතම සොයා ගැනීමක් වන විශ්මි ගුණරත්නට අද රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 9ක් පමණයි. එම කඩුල්ල Sara Glennට හිමි වුනා.

අද ප්‍රබල එංගලන්ත පන්දු යවන්නියන් හමුවේ යම් තරමක හෝ සටනක් දෙන්නට සමත් වුනේ හර්ෂිතා සමරවික්‍රම පමණයි. ඇය පන්දු 44කට මුහුණ දෙමින් ලකුණු 35ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 2ක් ද සමඟයි. හර්ෂිතා දැවී ගියේ අද ඉනිමේ සත්වැනි කඩුල්ල ලෙසයි.

පන්දුවාර 30කට සාර්ථකව මුහුණ දුන්නත් අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 106ක් පමණයි. පන්දු යැවීමේ දී එංගලන්ත ක්‍රීඩිකාවන් තිදෙනෙකු කැපී පෙනුණු අතර Mahika Gaur, Sara Glenn සහ Lauren Filler කඩුලු 3 බැගින් දවා ගත්තේ තම කණ්ඩායමට පහසු ජයක් සඳහා දොරගුළු විවර කරමින්.

ශ්‍රී ලංකාව මහත් සංයමයක් දරා ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්ත පිතිකාරිණියන් සැහැල්ලුවෙන් හඹා යාම ඇරඹුවා. ඉනිමේ මුල් කොටසේ දී ප්‍රතිවාදී පන්දු යවන්නියන්ට සියලු ගෞරව ලබා දෙමින් පිතිකරණයේ යෙදුනත්, කල් ගත වෙත්ම තණතිල්ල සිතූ තරම් භයානක නොවන බව ඔවුන්ට තේරුම් ගියා.

ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් තම ලකුණු වේගය වැඩි කර ගත් එංගලන්ත ක්‍රීඩිකාවන් මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට වැය කළේ පන්දුවාර 18ක් පමණයි. පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 61ක් එකතු කරන්නට Emma Lamb සහ Tammy Beaumont සමත් වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ Beaumont අද ලකුණු 32දී දැවී ගියේ ඉනෝකා රණවීර යැවූ පන්දුවක් හමුවේයි.

ඇයගේ දැවී යාමෙන් පසු Emma Lamb සහ අත්දැකීම් බහුල ක්‍රීඩිකා Heather Knight යන ක්‍රීඩිකාවන් දෙදෙනාවම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනත්, ලබාගෙන තිබූ අඩු ලකුණු සංඛ්‍යාව ඔවුන්ට ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

Result


England Women
107/3 (18)

Sri Lanka Women
106/10 (30.2)

Batsmen R B 4s 6s SR
Anushka Sanjeewani b Mahika Gaur 5 20 1 0 25.00
Chamari Athapaththu b Mahika Gaur 10 17 2 0 58.82
Harshitha Samarawickrama c Amy Jones b Alice Capsey 35 44 2 0 79.55
Vishmi Gunaratne lbw b Sarah Glenn 9 12 1 0 75.00
Hasini Perera c Amy Jones b Lauren Filer 10 15 2 0 66.67
Kavisha Dilhari c Amy Jones b Lauren Filer 9 17 1 0 52.94
Nilakshi de Silva c Amy Jones b Lauren Filer 0 1 0 0 0.00
Oshadi Ranasinghe c Amy Jones b Sarah Glenn 9 21 1 0 42.86
Achini Kulasuriya b Sarah Glenn 2 12 0 0 16.67
Udeshika Prabodhani b Sarah Glenn 2 14 0 0 14.29
Inoka Ranaweera not out 1 9 0 0 11.11


Extras 14 (b 0 , lb 0 , nb 0, w 14, pen 0)
Total 106/10 (30.2 Overs, RR: 3.49)
Bowling O M R W Econ
Mahika Gaur 6.2 0 26 3 4.19
Kate Cross 6 1 21 0 3.50
Sarah Glenn 8 1 20 3 2.50
Lauren Filer 5 0 27 3 5.40
Alice Capsey 5 2 12 1 2.40


Batsmen R B 4s 6s SR
Emma Lamb c Nilakshi de Silva b Oshadi Ranasinghe 27 36 3 0 75.00
Tammy Beaumont c Hasini Perera b Inoka Ranaweera 32 31 5 0 103.23
Heather Knight c Anushka Sanjeewani b Kavisha Dilhari 22 22 3 0 100.00
Maia Bouchier not out 17 17 3 0 100.00
Nat Sciver not out 2 3 0 0 66.67


Extras 7 (b 1 , lb 0 , nb 1, w 5, pen 0)
Total 107/3 (18 Overs, RR: 5.94)
Bowling O M R W Econ
Udeshika Prabodhani 3 0 21 0 7.00
Achini Kulasuriya 3 0 14 0 4.67
Oshadi Ranasinghe 5 0 30 1 6.00
Chamari Athapaththu 3 0 23 0 7.67
Inoka Ranaweera 3 0 15 1 5.00
Kavisha Dilhari 1 0 3 1 3.00



තරගයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ඉනිමට මුල්ම තර්ජනය එල්ල කළ Mahika Gaur සම්මාන දිනා ගත්තා. මේ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා එක්දින තරගාවලිය 1-0ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවන්නේ සත්කාරක එංගලන්ත කණ්ඩායමයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය ලබන 12 වැනිදා Northamton හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විස්සයි විස්ස තරගාවලියේ දී මෙන් පෙරළියක් කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි. එහි සියලු තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<