කුසල් ජනිත් පෙරේරා ගේ මංගල ශතකයත් සහ චරිත් අසලංක ගේ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් නවසීලන්තය සමඟින් පැවැති මේ වසරේ මංගල විස්සයි විස්ස තරගයෙන් ලකුණු 7ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙනවා.
Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී අද (2) නිමා වූ ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය කිරීමට සමත් වූව ද තරග 3කින් යුත් තරගාවලිය නිමා වෙන්නේ තරග 2-1ක් ලෙසින් නවසීලන්ත ක්‍රීඩකයන්ට ජයග්‍රහණය හිමි වෙමිනුයි.
අද තරගයේ දී කුසල් පෙරේරා රැස් කළේ මෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි ශතකයයි. මීට පෙර 2010 වසරේ දී සිම්බාබ්වේට එරෙහි ව මහේල ජයවර්ධන ද සහ 2011 වසරේ දී තිලකරත්න ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවට එරෙහි ව ද ශතක වාර්තා කර තිබුණා.
කුසල් පෙරේරා ගේ මෙම ඉනිමත් සමඟින් ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 2000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා. මේ දක්වා ඔහු සහභාගී වී ඇති තරග ප්‍රමාණය 77ක්.
මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 218ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 211ක් පමණයි.
ශ්‍රී ලංකාව විසින් අද වාර්තා කළේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිම වන අතර එය නවසීලන්තයට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. මීට පෙර ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි ව ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2023 වසරේ දී කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 196යි.
වාර්තා කිහිපයක් ම කරළියට පැමිණි අද තරගය සඳහා ශ්‍රී ලංකාව එක් වෙන්නේ පෙර තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සහ මතීෂ පතිරණ වෙනුවට භානුක රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ කැඳවමින්. නවසීලන්තය පෙර කණ්ඩායම ම මෙම තරගය සඳහා ද නම් කර තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චමිඳු වික්‍රමසිංහ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර.
නවසීලන්ත කණ්ඩායම:
Mitchell Santner (නායක), Tim Robinson, Rachin Ravindra, Mark Chapman, Glenn Phillips, Daryl Mitchell, Mitchell Hay (කඩුලු රකින්නා), Michael Bracewell, Zakary Foulkes, Matt Henry, Jacob Duffy.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ තරගයේ ආරම්භය මදක් පමා වූ අතර ඊට පසුව උරගා බැලුණ තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායකයා විසින් දිනා ගත්තා. ඔහුගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරමක් අවදානමකින් පන්දුවට පහර දීමට සිදු වෙන්නේ.
ඒ අනුව ඔවුන්ගේ පළමු Power Play අවස්ථාව ගෙවී යන්නේ ලකුණු 49කිනුයි. ඒ වෙද්දී පැතුම් නිස්සංක ලකුණු 14කට ද සහ කුසල් මෙන්ඩිස් ලකුණු ලකුණු 22කට ද තම ඉනිම් හැර ගොස් තිබුණා.
ඉනිමේ 10 වැනි පන්දු වාරයේ දී අවිශ්ක ප්‍රනාන්දු ගේ ඉනිම ද අවසන් වුනා. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 17ක් පමණයි.
අනතුරු ව කුසල් පෙරේරා සහ නායක චරිත් අසලංක එක් ව ශ්‍රී ලංකා ඉනිමට ජීවය එක් කරනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 100ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව චරිත් අසලංක ගේ දැවී යෑමත් සමඟින් නිමා වෙන අතර ඒ වෙද්දී චරිත් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා.
අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි කුසල් පෙරේරා 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 207 රැඳී තිබුණා. කුසල් දැවී යද්දී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 101ක් ලබා සිටියා.
ඔහු තම අර්ධ ශතකය පන්දු 27කින් ද සහ ශතකය පන්දු 44ක දී වාර්තා කිරීමට සමත් වෙනවා. මෙය මෙරට ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත් ම ශතකය බවට ද ඉතිහාසයට එක් වෙනවා. මීට පෙර මෙරට වේගවත් ම ශතකයේ වාර්තාව රැඳී තිබුණේ තිලකරත්න ඩිල්ශාන් සතුවයි. ඔහු පන්දු 55ක දී ශතකය වාර්තා කර තිබුණා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී භානුක රාජපක්ෂ පන්දු 5ක දී ලකුණු 6ක් ද සහ චමිඳු වික්‍රමසිංහ පන්දු 6ක දී ලකුණු 6ක් බැගින් ද ලබා ගෙන තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී Daryl Mitchell, Jacob Duffy, Mitchell Santner, Matt Henry සහ Zakary Foulkes කඩුල්ල බැගින් බිඳ හෙලුවා.
- ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්රිකට් මතක
- ICC සම්මාන දෙකක් සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් නිර්දේශ ලබයි
- කමිඳු මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ ලබයි
- පැතුම් තනි වෙයි; තිබූ ජය ගිලිහෙයි!
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සෑම පන්දුවාරයක දී ම වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීම කැපී පෙණුනා. ඔවුන් ඉනිමේ 3 වැනි පන්දුවාරයේ සිට ම ලකුණු 10ක සාමාන්‍යයක් ඉක්මවා තබා ගැනීමට සමත් වූ අතර තම පළමු Power Play අවස්ථාවේ දී කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 63ක් ලබා සිටියා.
ඒ අනුව ගිය ඉනිමේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නවසීලන්ත ඉනිමේ කඩුල්ලක් දවා ගැනීමට හැකි වෙන්නේ 45 වැනි පන්දුවේදීයි. ඒ වෙද්දී ඔවුන් ලකුණු 81ක් තම ඉනිමට එක් කර තිබුණා.
Tim Robinson පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ. ඔහු හා එක් ව ඉනිම ගොඩනැගූ Rachin Ravindra පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටිය දී 4 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙනවා.
අනතුරු ව නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Daryl Mitchell. ඔහු පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා. ඔහු චරිත් අසලංක විසින් යැවුණු නවසීලන්ත ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී පිට පිට හයේ පහර 4ක් එල්ල කිරීමට ද සමත් වෙන අතර එම පන්දුවාරයේ දී චරිත් ප්‍රතිවාදීන්ට ලකුණු 25ක් ප්‍රදානය කරනවා.
නවසීලන්තය වෙතින් දැවැන්ත ප්‍රහාරයකට ලක් වෙමින් තිබිය දී තරගය යම් තරමකින් පාලනය වෙන්නේ වනිඳු හසරංග විසින් ඊට පසුව යැවූණු ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දීයි. ඔහු එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී Mitchell Hay (8) දවා ගන්නා ලද අතර ඊට පසුව යැවුණ 5 වැනි පන්දුවේ දී Michael Bracewell (1) දවා ගන්නවා.
නවසීලන්ත ඉනිම අවසන් වෙද්දී නායක Mitchell Santner පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද සහ Zakary Foulkes පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා විසින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22ක දී ලකුණු 41ක නොබිඳුණ සබඳතාවක් ද ඒ වෙද්දී කර කරමින් සිටියා.
තරගයේ අවසන් පන්දුවාරයේ දී නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 22ක් අවශ්‍ය වූ අතර එය ලකුණු 14කින් සීමා කිරීමට බිනුර ප්‍රනාන්දු සමත් වුනා. නවසීලන්ත ඉනිම අවසන් වන විට චරිත් අසලංක ලකුණු 50කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව වනිඳු හසරංග කඩුලු 3ක් ද, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී 218 (20.0) කුසල් මෙන්ඩිස් 22, කුසල් පෙරේරා 101, චරිත් අසලංක 46
නවසීලන්තය – කඩුලු 7ක් දැවී 211 (20.0) Tim Robinson 37, Rachin Ravindra 69, Daryl Mitchell 35, Zakary Foulkes නොදැවී 21, වනිඳු හසරංග 2/38, චරිත් අසලංක 3/50
ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්.
තරගයේ වීරයා – කුසල් පෙරේරා (ශ්‍රී ලංකාව)
දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස 5 වැනිදා Wellington හි දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<