ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන බංගලියන්ගේ වැට උඩ සටනට පෙර

Asia Cup 2023

16049

ආසියානු කුසලාන සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (09) බංග්ලාදේශය සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

· ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් පතිරණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්.

· බංග්ලාදේශ සංචිතය: Shakib Al Hasan (නායක), Mohammad Naim, Mushfiqur Rahim, Najmul Hossain Shanto, Tanzid Hasan, Towhid Hridoy, Afif Hossain, Mahedi Hasan, Mehidy Hasan Miraz, Shamim Hossain, Ebadot Hossain, Hasan Mahmud, ustafizur Rahman, Nasum Ahmed, Shoriful Islam, Taskin Ahmed, Anamul Haque.

මෙම තරගාවලියේ පළමු වටයේ දී ද බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව එකිනෙකා හමු වූ අතර එම තරගයෙන් කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඒ විශ්වාසයත් සමඟින් ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වෙද්දී, බංග්ලාදේශය මෙම තරගයට පිවිසෙන්නේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගයෙන් පාකිස්තානය වෙතින් ලත් කඩුලු 7ක පරාජයක පසුතැවීමත් සමඟයි.

ඒ හේතුවෙන් ම ඔවුන්ට මෙම තරගාවලියේ තව දුරටත් ඉදිරියට යෑමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය ම වෙනවා. ඊට ඔවුන්ට තිබෙන විශ්වාසය ලොව අංක එකට ශ්‍රේණිගත තුන් ඉරියව් ක්‍රීඩකයා සේ ම ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතර පළමු සහ තෙවැනි ස්ථාන ලත් පිතිකරුවන් ද කැටිව සිටීමයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ අවසන් තරග 5 ප්‍රතිඵලය

ඒ හේතුවෙන් ම ඔවුන්ට මෙම තරගාවලියේ තව දුරටත් ඉදිරියට යෑමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය ම වෙනවා. ඊට ඔවුන්ට තිබෙන විශ්වාසය ලොව අංක එකට ශ්‍රේණිගත තුන් ඉරියව් ක්‍රීඩකයා සේ ම ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පළමු සහ තෙවැනි ස්ථාන ලත් පිතිකරුවන් ද කැටිව සිටීමයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ අවසන් තරග 5 ප්‍රතිඵලය

රට 1 2 3 4 5
ශ්‍රී ලංකාව ජය

(AFG)

ජය

(BAN)

ජය

(NET)

ජය

(WI)

ජය

(ZIM)

බංග්ලාදේශය පරාජය (PAK) ජය

(AFG)

පරාජය (SL) ජය

(AFG)

පරාජය (AFG)

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ මේ වන විට පිට පිට එක්දින ජාත්‍යන්තර තරග 12ක් ජයග්‍රහණය කරමින් එවන් දක්ෂතාවක් කළ දකුණු අප්‍රිකාව (2005 සහ 2007/08), පාකිස්තානය (2007/08) සමඟින් සමව අසුන් ගෙනයි.

2003 වසරේ දී පිට පිට තරග 21ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව සමඟින් දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එබැවින් වසර 15ක් තිස්සේ දිග නොහැරුණ මෙම වාර්තා පොත නැවත පෙරළා සටහන් තැබීමට, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙය කදිම අවස්ථාවක් කර ගත හැකි. ඊට සුදුසු මානසිකත්වයකින් සහ පෙර දක්ෂතා සමඟින් ඇති වූ විශ්වසනීයත්වයත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩාත් වාසිදායක වනු නියතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගකාරීත්වය මේ වන විට යම් සාධනීය මට්ටමක තිබුනත්, වරින් වර ඉහළ පහළ යන ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දක්ෂතා තරගයෙන් තරගයට අනියත බියක් එක් කරනවා. එබැවින් ඊට අවධානය යොමු කිරීම වඩාත් සුදුසුයි. එම තත්ත්වය මඟ හැරෙන්නේ නම් කණ්ඩායම කෙරෙහි තැබෙන විශ්වාසය මීට වඩා ඉහළ යනු ඇත.

කෙසේ වෙතත් ඉදිරිපෙළ මත යැපෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මැදපෙළින් එක් වෙන දසුන් ශානකගේ දක්ෂතා ද එක් කරන්නේ නම් වඩාත් ශක්තිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ හැකියාවෙන් ලැබෙනවා.

නමුත් අවාසනාවකට මෙන් තවමත් දසුන් ශානකගේ පිත්ත ක්‍රියාත්මක වූයේ හෝ විශ්වසවන්තනීය පිතිකරුවෙක් ලෙසින් මේ දක්වා ඔහුගෙන් කණ්ඩායමට සේවයක් සිදු වූයේ නැහැ. එබැවින් මෙම තරගයේ දී දසුන්ට ද යමක් කළ හැකි නම්, ඉදිරි පෙළින් සේ ම පසුපෙළ පිතිකරුවන්ට ද පීඩනයකින් තොරව තරගයට අවතීර්ණ වීමේ හැකියාවක් පවතිනවා.

විශේෂයෙන් ම දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ පන්දු යැවීමට අමතරව පිතිකරු භූමිකාවේ දී ද දක්වන දක්ෂතාවලට තෝතැන්නක් නිර්මාණය කිරීම නායකයෙක් ලෙසින් දසුන්ට පැවැරෙන වගකීමක්. පන්දු යවන්නන් ලෙසින් තම යුතුකම මනාව ඉටු කරන ඔවුන්ගෙන් පිතිකරුවන් ලෙසින් ද වැඩි වැඩක් ගැනීමට නම් ඔවුන්ට නිදහසේ පන්දුවට පහර දීමේ වාතාවරණයක් ඇති විය යුතුයි. ඊට දසුන්ගේ සාර්ථක වීම වඩාත් වැදගත් බැව් අපගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් ලෙසින් පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සදීර සමරවික්‍රම සහ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ධනංජය ද සිල්වා මෙම තරගාවලිය තුළ තම තමන්ගේ භූමිකාවන් නිසි සේ රංග ගත කිරීම කණ්ඩායමක් ලෙසින් මේ දක්වා ආ ගමනට ආශිර්වාදයක්. එය මෙම තරගයේ දී ද ඒ ආකාරයෙන් ම සිදු විය යුතුයි.

එමෙන් ම පන්දු යවන්නන් ලෙසින් දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණට අමතරව කසුන් රාජිත සහ මතීෂ පතිරණ ද මෙතෙක් පෑ දක්ෂතා අනුව බංග්ලාදේශයට එරෙහිව පැවැතෙන මෙම තරගයේ දී ද ඔවුන් ම තරගයට කැඳවෙනු ඇතැයි අනුමාන කළ හැකි.

· බංග්ලාදේශට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ මතීෂ පතිරණ.

බංග්ලාදේශ කණ්ඩායමේ සූදානම

බංග්ලාදේශය මෙම තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙන්නේ ප්‍රබල ඇෆ්ගනිස්තානුවන්ට එරෙහිව පළමු තරගයේ දී ලබා ගත් ජයග්‍රහණය හේතුවෙන්. නමුත් ඔවුන්ට සුපිරි 4 වටය නම් එතරම් ම සුබදායක වූයේ නැහැ.

පාකිස්තානය වෙතින් ලත් එම පරාජයත් සමඟින් ඔවුන්ට ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන මෙම තරගය තීරණාත්මක වූවා. එම තීරණාත්මක ගමනේ දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවෙන අභියෝගාත්මක කරුණ වන්නේ ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දක්ෂතා එක දිගට පවත්වා ගැනීමට නොහැකි වීමේ දුර්වලතාවයි.

ඉදිරිපෙළ පිතිකරුවන් තම දක්ෂතා අතර අතරමං වෙද්දී මැදපෙළ පිතිකරුවන්ගෙන් යැපීමට කණ්ඩායමට සිදු වූවා. එහෙත් ඔවුන් ද වරින් වර පිතිකරණය සඳහා පිටියට පිවිසියේ අංක එහා-මෙහා කරමින් අත්හදා බලන තත්ත්වයේ සිටයි.

Towhid Hridoy, Mehidy Hasan Miraz, Litton Das සහ Najmul Hossain Shanto මේ අය අතරින් ඉදිරියෙන් සිටිනවා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පෙර පැවති තරගයේ දී පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 89ක් ලබා ගනිමින් ද සහ ඇෆ්ගනිස්තානය හා සමඟ තරගයේ දී පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත් Najmul Hossain Shanto සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත් Mehidy Hasan Miraz ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී තමන්ට සුපුරුදු ස්ථානයේ ම ක්‍රීඩා කිරීමට ඉඩ දෙනු ඇතැයි සිතිය හැකි.

එය එසේ වෙද්දී කණ්ඩායමේ එක් වෙනසක් වේ යැයි අනුමාන කළ හැකි. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ දකුණතින් මඳ වේග පන්දු යවන Hasan Mahmud වෙනුවට, වමතින් මද වේග පන්දු යවන 28 හැවිරිදි වියේ පසුවන Mustafizur Rahman තරගය කැඳවීමේ වැඩි ඉඩ කඩක් තිබෙනවා.

· ශ්‍රී ලංකාව එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන බංග්ලාදේශ කණ්ඩායම: Shakib Al Hasan (නායක), Mohammad Naim, Mehidy Hasan Miraz, Litton Das, Anamul Haque, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim (කඩුලු රකින්නා), Afif Hossain, Taskin Ahmed, Shoriful Islam, Hasan Mahmud / Mustafizur Rahman.

අවධානය යොමු කළ යුතු බංග්ලාදේශ ක්‍රීඩකයෝ

Shakib Al Hasan

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල දී අංක 1 තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලත් බංග්ලාදේශය නායක Shakib Al Hasan ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙසින් හැඳින්විය හැකි.

ඔහු නිමා වූ කැලැන්ඩර් වසරේ දී ඉනිම් 14ක දී ලකුණු 546ක් සහ කඩුලු 22ක් දවා ගැනීමට සමත් වෙනවා. ඒ අතරින් ඔහුගේ අවසන් එක්දින ජාත්‍යන්තර ඉනිම් 5 දී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් වෙන ඔහු එහි සාමාන්‍ය 38.5ක් ලෙසින් රඳවා ගැනීමට සමත් වෙනවා.

2010 වසරේ සිට ආසියානු කුසලාන තරගාවලියන් නියෝජනය කරන ඔහු මේ දක්වා තරග 16කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 4ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 492ක් වන අතර ඊට කඩුලු 19ක් ද එක් කර ගැනීමට සමත් වෙනවා.

Shakibගේ එක්දින ජාත්‍යන්තර දක්ෂතා පෙළ ගැසෙන්නේ තරග 238කට සහභාගී වෙමින් ශතක 9ක් සහ අර්ධ ශතක 54ක් සමඟින් ලබා ගත් ලකුණු 7301ක් සහ කඩුලු 307ක්. මේ අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 26කට ක්‍රීඩා කර ඇති ඔහු අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 631ක් සහ කඩුලු 18ක් ලබා සිටිනවා.

Shakib සතුව බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ලැබූ ක්‍රීඩකයා සේ ම වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ද සතු වෙනවා.

Mushfiqur Rahim

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රවේසම් විය යුතු පිතිකරුවන් අතරින් ප්‍රමුඛ ස්ථානයට ගැනෙන ක්‍රීඩකයෙක් ලෙසින් 36 හැවිරිදි වියේ පසුවන කඩුලු රකින පිතිකරු Mushfiqur Rahim හැඳින්විය හැකි.

2008 වසරේ සිට ආසියානු කුසලාන තරගාවලිය හා සම්බන්ධ වන ඔහු මේ දක්වා තරග 24ක ඉනිම් 24ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 801ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ ලකුණුවල සාමන්‍ය 36.40ක්.

2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 144 ඔහුගේ තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි.

ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 254කට සහභාගී වෙමින් ශතක 9ක් සහ අර්ධ ශතක 46ක් සමඟින් ලකුණු 7359ක් ලබා සිටිනවා. ඒ අතරින් තරග 34ක ඉනිම් 32ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1033ක් වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Litton Das

28 හැවිරිදි වියේ පසුවන දකුණත් පිතිකරුවෙක් වන Litton Das මෑත කාලයේ පාකිස්තානයේ විශ්වාස දිනා ගත් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකි. ඔහු මේ දක්වා එක්දින තරග 73කට සහභාගී වෙමින් ශතක 5ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2229ක්.

මේ අතරින් අවසන් ඉනිම් 10 දී ඔහු අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 310ක් ලබා ගන්නා අතර එහි සාමාන්‍ය 38.75ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

Taskin Ahmed

25 හැවිරිදි වියේ පසුවන දකුණතින් මද වේගපන්දු යවන Taskin Ahmed බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ප්‍රමුඛ පන්දු යවන්නායි. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 62කට සහභාගී වෙමින් ඉන් ඉනිම 60ක දී පන්දු යවමින් කඩුලු 87ක් ලබා සිටිනවා.

මේ ඔහුගේ පළමු ආසියානු කුසලාන තරගාවලිය වන අතර මේ වෙද්දී තමන් සහභාගී වූ තරග ත්‍රිත්වයේ දී කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා. ඊට ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 44කට දවා ගත් කඩුලු 4ක් ද ඇතුළත්.

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

මෙම ක්‍රීඩාංගණයේ දී මෙතෙක් එක්දින තරග 139ක් පවත්වා ඇති අතර ඉන් තරග 131ක දී ම විසඳුමක් ලැබී තිබෙනවා. ඉතිරි තරග 8 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

විසඳුමක් ලැබූ තරගවල දී තරග 76ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. නමුත් 2022 ජුනි මාසයේ පැවති අවසන් ආසන්නත ම තරගයේ දී සත්කාරකයන්ට සිදු වෙන්නේ ඕස්ට්‍රේලියාව වෙතින් පරාජය වීමටයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රීඩකයෝ මෙම ක්‍රීඩාංගණයේ දී මීට පෙර අවස්ථා 9ක දී එකිනෙකා හමුවී ඇති අතර ඒ සෑම තරගයකින් ම ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වී සිටිනවා. ඔවුන්නොවුන් අවසන් වරට මෙම ක්‍රීඩාංගණයේ දී හමු වී ඇත්තේ 2019 වසරේ ජූලි මාසයේදීයි. මේ ඊට පසුව වන හමුවයි.

කාලගුණ තත්ත්වය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියන්ට අනුව දැක්වෙන්නේ හෙට දිනයේ ද තරගය පැවැත්වෙන කොළඹ අවට ප්‍රදේශයට විටින් විට වැසි තත්ත්වයන් ඇති හැකි බවයි.

මේ තත්ත්වයන් යටතේ තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් සුළු හෝ පමාවක් තමන්ට අවාසි සහගත වන බැවින් තම සැලසුම් උපරිමයෙන් ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු නියතයි. එබැවින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත තියුණු තරගකාරීත්වයෙන් යුත් තරගයක් නැරඹීමේ අවකාශයක් උදා වෙනු ඇත.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය සැප්තැම්බර් මස 1දෙවැනිදා ඉන්දියාව සමඟ මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

2023 ආසියානු එක්දින ක්‍රිකට් කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<