සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන ජාත්‍යන්තර එක්දින තරගය හෙට (6) හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලියේ එක්දින තරග 5න් 2ක් දැනටමත් අවසන් වී ඇත. එයින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී අනපේක්ෂිත හා අමිහිරි පරාජයකට මුහුණ දුන් අතර, එයින් පාඩමක් උගත් ඔවුන් දෙවන තරගය තුල නැවතත් සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත් වීම, අප කාගේත් සතුටට හේතුවක් විය.

මදුසංක හා අපෝන්සු සංචිතයෙන් ඉවතට

දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තවත් මාස 6ක කාලයක් සඳහා බලාත්මක කිරීමට පසුව..

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරග 3ම ජයග්‍රහණය කරමින් මෙම තරගාවලිය 4-1ක් ලෙස අවසන් කළහොත් ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා පිවිසීමට පහසුවක් වන අතර, 2019 වර්ෂයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එය විශාල රුකුලක් වනු ඇත.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 52ක් පවත්වා ඇති අතර, එයින් තරග 42ක ජය ශ්‍රී ලංකා  කණ්ඩායම සතු වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 8ක් පමණි. තවද එයින් තරග 2ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරු

ඇන්ජලෝ මැතිව්ස්

Sameera Peiris @ThePapare.com
Sameera Peiris @ThePapare.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගෙන ක්‍රීඩා කරන මැතිව්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 184කදී තම දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 4654ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 40.82ක් වැනි සැලකිය යුතු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. තවද ඔහු එක් ශතකයක් හා අර්ධ ශතක 33ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා කර ඇති අතර, නිමා වූ තරග දෙක තුල පිළිවෙළින් ලකුණු 43*ක් හා නොදැවී ලකුණු 28*ක් ලබා ගැනීමට සමත් විය.

ශෝන් විලියම්ස්

shoneසිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරන විලියම්ස්, ජාත්‍යන්තර එක්දින තරග 108කට ක්‍රීඩා කර ඇත. එහි දී ලකුණු 32.17ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන ශෝන් ලකුණු 2896ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 26ක් හා එක් ශතකයක් ලබාගෙන ඇත. එසේම මෙම තරගාවලිය තුල දැනට ලකුණු 85ක් ලබාගෙන ඇති අතර, පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වී ඇත.

උපුල් තරංග

Sameera Peiris @ThePapare.com
Sameera Peiris @ThePapare.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරමින් මැදපෙළ හෝ මුල් පෙළ හෝ පසුපෙළ සවිමත් කරන මේ සුවිශේෂී වමත් පිතිකරුවා, ජාත්‍යන්තර එක්දින තරග 204ක් තුල ලකුණු 6140ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 34.30ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. උපුල් තරංගගේ ඉනිම මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 14ක්, අර්ධ ශතක 36ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ඉකුත් තරග දෙක තුල නොදැවී ලකුණු 79*ක් හා ලකුණු 75*ක් ලබාගෙන, දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට තරංගට හැකියාව ලැබී ඇත.

මොල්කොලොම් වෝලර්

volerමොල්කොලොම් වෝලර් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 67ක් ක්‍රීඩා කර ඇති අතර, ලකුණු 1134ක් ලබාගෙන ඇත්තේ ලකුණු 20.61ක පමණ සාමාන්‍ය මට්ටමේ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි. වෝලර් එම ලකුණු අතරට  අර්ධ ශතක 5ක් ලබාගෙන ඇත. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරුවීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස වෝලර්ව හැදින්වීමට හැකිය. නිමා වූ එක්දින තරග දෙක තුල දී ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව පිළිවෙළින් නොදැවී ලකුණු 40*ක් හා 38ක් ලබා ගන්නා ලදි

ප්‍රබල පන්දු යවන්නන්

ලක්ෂාන් සඳකැන්

Sameera Peiris @ThePapare.com
Sameera Peiris @ThePapare.com

වමතින් චයිනමන් පන්දු යවන සඳකැන්ගේ පන්දු හමුවේ පිතිකරුවන් වුවද තරමක දෙගිඩියාවකින් යුතුව පන්දුවට පහර දෙයි. ඒ සඳකැන්ගේ අපූරු පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. සඳකැන් ජාත්‍යන්තර එක්දින තරග 7ක දී කඩුලු 9ක් දවා ගැනීමට සමත් ව ඇති අතර, එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 5.61ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 52කට කඩුලු 4ක් ලබා ගැනීම ක්‍රිකට් ඉතිහාස පොතේ සඳහන් වී තිබෙන අතර, නිමා වූ සිම්බාබ්වේ තරගයේ දී එම දස්කම දැක්වීමට ඔහු සමත් විය.

ග්‍රැහැම් ක්‍රෙමර්

Grahamපා දඟපන්දු යවන්නෙකු ලෙස සිම්බාබ්වේ පන්දු බලඇණිය සවිමත් කරන නායක ක්‍රෙමර් තරග 78කදී කඩුලු 92ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය කඩුලු 31.16ක් ලෙසින් දක්වන ක්‍රෙමර් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 4.64ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 46කට කඩුලු 6ක් දවා ගැනීම සටහන් වී ඇත.

අසේල ගුණරත්න

Sameera Peiris @ThePapare.com
Sameera Peiris @ThePapare.com

සෑම විටම සිනහමුසු මුහුණකින් ක්‍රීඩා කරන මේ සොඳුරු තුන් ඉරියව් දකුණත් මඳ වේග පන්දු යවන්නා එක්දින ජාත්‍යන්තර තරග 18ක දී කඩුලු 14ක් දවා ගැනීමට සමත් වී ඇත. 31.57ක මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත ගුණරත්න පන්දුව පහසුවෙන්ම දෙපසටම දෝලනය කිරීමට උපන් හපනෙකි. හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 10කට කඩුලු 3ක් ලෙස සනිටුහන් කර ඇති ගුණරත්න සාමාන්‍යයෙන් පිතිකරුවන්ට එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු  4.85ක් පමණක් ලබා දී ඇත.

ටෙන්ඩායි චාටාරා

chataraදකුණත් වේග පන්දු යවන්නෙකු ලෙසින් සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන චටාරා, ජාත්‍යන්තර එක්දින තරග 38ක දී කඩුලු 53ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 30කට කඩුලු 3ක් දවා ගැනීම  කණ්ඩායමකට එදිරිව හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති චාටාරා එක් පන්දුවාරයකට දළ වශයෙන්  ලකුණු 5.11 පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. මෙම තරගාවලිය තුල දැනට කඩුලු 4ක් දවා ගැනීමට මොහු සමත් වී ඇත.

සූරියවැව තණතීරුව හා පිටිය

වසර දෙකකට පමණ පසුව ජාත්‍යන්තර එක්දින තරගයක් සඳහා සත්කාරකත්වය ලබා දෙන මෙම ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් 35,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග කිසිවකට සහභාගි වී නොමැත.

තවද, ශ්‍රී ලංකාව මෙම තණතීරුවේ දී  එක්දින ජාත්‍යන්තර තරග 13කට මුහුණ දී ඉන් තරග 7ක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම ද මෙහි දී එක්දින ජාත්‍යන්තර තරග කිසිවකට සහභාගි වී නැත.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි. කෙසේ වෙතත් නිමා වූ ශූරයින්ගේ තරගාවලියේ දී පන්දු රැකීමේ දී වූ අඩුපාඩු මඟ හරවා ගෙන ක්‍රීඩා කළහොත් එම තීරණය වඩාත් නිවැරදි වන බව නම් නොඅනුමානයි. කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට, හොඳින් සූර්යාලෝකය පතිත වන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් ඇත. පැයට කිලෝමීටර් 17-24ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇති විය හැකි අතර, 27°C – 34°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්ත්වය

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසු වන කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකාව දැනට (ජුලි 3) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවන අතර, ඔවුන් ලකුණු 4657ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 91ක් ද සමඟයි. ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 1814ක් හා ප්‍රසාද ලකුණු 48ක් ලබාගෙනයි.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ඉතිහාසය පිරික්සා බලන කල පෙරමුණේ පසු වුවද, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

අපේක්ෂිත සංචිතය

ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග , නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් , ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ලසිත් මාලිංග, සුරංග ලක්මාල් , නුවන් ප්‍රදීප්, වනිඳු හසරංග, අසේල ගුණරත්න, දුශ්මන්ත චමීර

සිම්බාබ්වේ – ග්‍රැහැම් ක්‍රෙමර් (නායක), හැමිල්ටන් මසකඩ්සා, මොල්කොලොම් වෝලර්, ටෙන්ඩායි චාටාරා, පීටර් මුවර්, ශිකන්ඩර් රාසා, ශෝන් විලියම්ස්, ක්‍රෙයිග් ඒර්වින්, සොලමන් මීරේ, රයන් බර්ල්, ක්‍රිස් මොපෆු

සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන එක්දින තරගය හෙට (6) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<