ප්‍රවීන් එංගලන්ත යෞවනයෝ මෙල්ල කරයි

Sri Lanka U19 tour of England 2024

26
Sri Lanka U 19 Tour of England

පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී ඉනිමක නිරත වෙමින් සිටි එංගලන්ත කණ්ඩායමේ පසු පෙළ සම්පූර්ණයෙන් ම අඩපණ කළ දකුණතින් දඟ පන්දු යවන ප්‍රවීන් මනීෂ දෙරට අතර පැවැති පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර Wormsley හි Sir Paul Getty’s ක්‍රීඩාංගණයේ දී පැවැති සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (11) ජය පරාජයෙන් තොරව අවසන් වූවා.  

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 324ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ ඊයේ දිවා විවේකයට පෙර සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 247ක් පමණයි. අනතුරු ව නැවත වතාවක් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යෞවනයෝ තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 192ක් ලබා සිටියා.  

තරගයේ සිව් වැනි දිනය ආරම්භ වූයේ එංගලන්තය තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා සිටිය දී යි. ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් පමණක් එක් වෙද්දී ඉනිමේ 5 වැනි කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එතැන් සිට ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් ලබා දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත ඉනිමේ ඉතිරි කඩුලු 5 ද ලකුණු 52ක් තුළ දවා ගැනීමට සමත් වෙනවා.  

එහි දී ක්‍රියාත්මක වූයේ ප්‍රවීන් මනීෂ යි. ඔහු දිනයේ දැවී ගිය කඩුලු 6න් 5ක් ම තමන් සන්තක කර ගැනීමට සමත් වූවා. ඒ වෙද්දී ද පෙර දිනයේ ද කඩුල්ලක් ලබා සිටි ප්‍රවීන් මනීෂ තරගයේ දී ලකුණු 56කට කඩුලු 6ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතුරින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා. 

ඊට අමතර ව විහස් තෙව්මික ලකුණු 37කට කඩුලු 2ක් ද, ශෙෂාන් මාරසිංහ සහ නේතන් කල්දේරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පෙර දිනයේ නොදැවී ලකුණු 72ක් ලබා සිටි සත්කාරක කණ්ඩායමේ Keshana Fonseka ට අද තම ඉනිමට එක් කර ගත හැකි වූයේ තවත් ලකුණු 14ක් පමණයි. ඒ අනුව පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 86ක් ලබා තිබිය දී ඔහුගේ ඉනිම අවසන් වෙනවා.  

ලකුණු 77ක් ඉදිරියෙන් සිටිමින් තම  2 වැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා යෞවනයන්ගේ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශාරුජන් ශම්මුගනාදන්. ඔහු පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 73ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා පන්දු 53ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 34ක් ද සහ ගයන වීරසිංහ පන්දු 73ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා. ඒ අනුව තරගය අවසන් කරද්දී සත්කාරකයන්ට වඩා ලකුණු 269ක් ඉදිරියෙන් සිටිමට සංචාරක ශ්‍රී ලංකා යෞවනයෝ සමත් වූවා.   

කඩුලු දවා ගැනීමේ දී Jaydn Denly ලකුණු 57කට කඩුලු 2ක් ද, A. M. French සහ N. Sharma කඩුල්ලක් ද ලබා සිටියා.  

තරගයේ පළමු දිනයේ අඩකටත් වැඩි කාලයක් මෙන් ම, 2 වැනි දිනය සම්පූර්ණයෙන් ම වර්ෂාවට බිලි වීම මෙම තරගයේ තීරණයට වඩාත් බලපෑම් කළ කාරණයක් වූවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 324 (85.4) මහිත් පෙරේරා 22, දිනුර කළුපහන 104, දිනිරු අබේවික්‍රමසිංහ 43, නේතන් කල්දේරා 55, විහස් තෙව්මික 19, N. Sharma 2/59, A. M. French 4/81, Alex Green 2/36 

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (72.3) Freddie McCann 92, Keshana Fonseka 86, A. M. French 19, විහස් තෙව්මික 2/37, ප්‍රවීන් මනීෂ 6/56 

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 2 වැනි ඉනිම කඩුලු 4ක් දැවී 192 (56.0) පුලිඳු පෙරේරා 34, සදෙව් සමරසිංහ 20, ශාරුජන් ශම්මුගනාදන් 73, ගයන වීරසිංහ 33, මහිත් පෙරේරා නොදැවී 20, Jaydn Denly 2/57 

තරග 2කින් යුත් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වැනි සහ අවසන් තරගය මේ මස 16 වැනිදා Cheltenham විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<