Home Sinhala තියුණු තරගයකින් අනතුරුව එංගලන්තය ජය ගනී

තියුණු තරගයකින් අනතුරුව එංගලන්තය ජය ගනී

Sri Lanka U19 tour of England 2024

62

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරක එංගලන්ත යෞවනයෝ ඊයේ (03) සමත් වුනා.  

Hove හී 1 st Century County ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් එංගලන්ත යෞවනයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර ඊට පෙර පැවැති තරගයෙන් ද ඔවුන් ලකුණු 30ක ජයග්‍රහණයක් ලබා සිටියා.  

දෙරට අතර පැවැති පළමු තරගයේ දී ශ්‍රී ලංකා යෞවනයන් විසින් ප්‍රතිවාදීන් ලකුණු 65කින් පරාජය කළ අතර එපමණකින් පමණක් ඔවුන්ට මෙම තරගාවලියේ දී සෑහීමකට පත් වීමට සිදු වූවා.  

නිමා වූ මෙම තරගයේ දී ද කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පෙර තරගයේ දී සේ ම පළමුවෙන් ම පන්දුවට පහර දීම තෝරා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන්ගේ කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 4 දෙනෙක් වෙනුවෙන් නවක ක්‍රීඩකයෝ 4 දෙනෙක් නම් කර තිබුණා. ඒ Keshana Fonseka, Farhan Ahmed, Noah Cornwell සහ Haydon Mustard වෙනුවට Theo Wylie, Thomas Rew, Harry Moore සහ Alex Green එක් කර ගනිමිනුයි.    

ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වූයේ වෙනස්කම් 2ක් සිදු කරමිනුයි. ඒ  දුමිඳු සෙව්මිණ සහ තිසර ඒකනායක වෙනුවට හිරාන් ජයසුන්දර සහ මනුජ චන්තුක එක් කර ගනිමිනුයි.  

ශ්‍රී ලංකා වයස අවුදු 19න් පහළ කණ්ඩායම – දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, හිරාන් ජයසුන්දර, ගයන වීරසිංහ, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), මහිත් පෙරේරා, දිනිරු අබේවික්‍රමසිංහ, ප්‍රවීන් මනීෂ, විහස් තෙව්මික, හිවින් කෙනුල, මනුජ චන්තුක. 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – Luc Benkenstein  (නායක), Theo Wylie, Freddie McCann, Noah Thain, Charlie Allison, Rocky Flintoff, Dominic Kelly, Thomas Rew (කඩුලු රකින්නා), Harry Moore, Tazeem Chaudry Ali, Alex Green. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත යෞවනයන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 34ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූව ද තෙවැනි කඩුල්ලේ දී ලකුණු 184ක සබඳතාවක් ගොඩ නගමින් එංගලන්ත කණ්ඩායම ප්‍රබල තැනකට රැගෙන යැමට Charlie Allison සහ නායක Luc Benkenstein සමත් වූවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Charlie Allison, විහස් තෙව්මික ගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියා.  

අනතුරු ව යැවුණ ඊළඟ පන්දුවාරයේ දී එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ Luc Benkenstein ගේ ඉනිම ද නිමා කිරීමට නායක දිනුර කළුපහන සමත් වූවා. තරගාවලියේ 2 වැනි ශතකලාභියා වූ Luc Benkenstein, මෙම තරගයේ දී පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.  

මෙම තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ද සත්කාරක ක්‍රීඩකයෙක් වෙතයි. එහි හිමිකරු වූයේ 2 වැනි එක්දින තරගයේ දී ලකුණු 174ක් ලබා ගත් Freddie McCann.   

ආරම්භයේ දී පන්දුවාර 50ක තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 45කට සීමා කෙරුණ අතර ඒ අනුව එංගලන්ත ඉනිම අවසන් වෙද්දී කඩුලු 9කට ලකුණු 268ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී විහස් තෙව්මික ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායක දිනුර කළුපහන ද ලකුණු 58කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වද්දී ප්‍රවින් මනීෂ සහ හිවින් කෙනුල කඩුල්ල බැගින් දවා ගත්තා.  

ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කෙරුණ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා පන්දුවාර 45ක දී අවශ්‍ය වූයේ ලකුණු 265ක් පමණයි. එම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළේ පුලිඳු පෙරේරා සහ හිරාන් ජයසුන්දර (13)යි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් එක් කළා. ඊට අමතර ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 43ක සබඳතාවක් එක් කිරීමට ශ්‍රි ලංකා පිතිකරුවෝ සමත් වූවා. එහි දී පෙරමුණ ගත්තේ පුලිඳු පෙරේරා සහ ගයන වීරසිංහ යි.  

පුලිඳු පෙරේරා පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගනිමින් දැවී යද්දී ගයන වීරසිංහ පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේ මෙම තරගාවලියේ දී පිට පිට ම එක් කළ 2 වැනි අර්ධ ශතකයත් වාර්තා කරමිනුයි.  

ගයන වීරසිංහ 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී මහිත් පෙරේරා සමඟ එක් වෙමින් ලකුණු 64ක සබඳතාවක් එක් කිරීමට දායක වූවා. එය ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූ අතර මහිත් පෙරේරා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා. එය ඔහු විසින් මෙම තරගාවලියේ දී එක් කරන ලද 2 වැනි අර්ධ ශතකයයි මේ.  

ඔවුන්ට අමතර ව දිනිරු අබේවික්‍රමසිංහ ලකුණු 19ක් ද සහ නායක දිනුර කළුපහන ලකුණු 14ක් ද ශ්‍රී ලංකා ඉනිමට එක් කළ ද අනෙක් පිතිකරුවන්ට තම කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක් වීමට හැකි වූයේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම තවත් පන්දුවක් ඉතිරි ව තිබිය දී ලකුණු 260කට අවසන් වූවා. ඒ වෙද්දී ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් අවශ්‍ය ව තිබුණේ ලකුණු 5ක් පමණයි.  

තියුණු අවසානයකින් යුත් එම තරගයේ දී කඩුලු දවා ගැනීමේ දී Freddie McCann සහ Harry Moore කඩුලු 2ක් බැගින් දවා ගත් අතර Noah Thain, Alex Green සහ Dominic Kelly කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 268 (45.0) Freddie McCann 28, Charlie Allison 87, Luc Benkenstein 102, දිනුර කළුපහන 3/58, විහස් තෙව්මික 4/33

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 260 (44.4) පුලිඳු පෙරේරා 38, ගයන වීරසිංහ 80, මහිත් පෙරේරා 53, දිනිරු අබේවික්‍රමසිංහ 19, Harry Moore 2/42, Freddie McCann 2/39 

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වරත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4ක ජයක්.  

දෙරට අතර පැවැත් වෙන තරග 2කින් යුත් යොවුන් සිවු දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 08 වැනිදා සිට 11 වැනිදා දක්වා Wormsley හි දී පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

Result


England U19
268/9 (45)

Sri Lanka U19
260/10 (44.4)

Batsmen R B 4s 6s SR
Theo Wylie c Praveen Maneesha b Dinura Kalupahana 4 7 1 0 57.14
Freddie McCann c & b Vihas Thewmika 28 23 6 0 121.74
Noah Thain c Pulindu Perera b Vihas Thewmika 2 11 0 0 18.18
Charlie Allison b Vihas Thewmika 87 85 8 2 102.35
Luc Benkenstein c Hiran Jayasundara b Dinura Kalupahana 102 99 7 5 103.03
Rocky Flintoff c Mahith Perera b Hivin Kenula 14 19 1 0 73.68
Dominic Kelly c & b Vihas Thewmika 0 2 0 0 0.00
Thomas Aspinwall b Dinura Kalupahana 3 5 0 0 60.00
Harry Moore c Vihas Thewmika b Praveen Maneesha 7 8 1 0 87.50
Tazeem Chaudry Ali not out 13 11 2 0 118.18
Alex Horton not out 0 2 0 0 0.00


Extras 8 (b 0 , lb 0 , nb 2, w 6, pen 0)
Total 268/9 (45 Overs, RR: 5.96)
Bowling O M R W Econ
Hivin Kenula 8 0 61 1 7.62
Dinura Kalupahana 9 0 58 3 6.44
Vihas Thewmika 9 1 33 4 3.67
Manuja Chanthuka 9 0 43 0 4.78
Praveen Maneesha 6 0 52 1 8.67
Gayana Weerasinghe 4 0 21 0 5.25


Batsmen R B 4s 6s SR
Pulindu Perera c Rocky Flintoff b Freddie McCann 38 45 4 0 84.44
Hiran Jayasundara b Harry Moore 13 25 0 0 52.00
Gayana Weerasinghe c Luc Benkenstein b Dominic Kelly 80 76 12 0 105.26
Sharujan Shanmuganathan c Charlie Allison b Alex Green 8 10 1 0 80.00
Dinura Kalupahana c Thomas Rew b Noah Thain 14 20 1 0 70.00
Mahith Perera run out (Freddie McCann) 53 54 3 1 98.15
Dinura Kalupahana c Thomas Rew b Harry Moore 19 21 0 0 90.48
Praveen Maneesha run out (Noah Thain) 4 3 1 0 133.33
Vihas Thewmika c Charlie Allison b Freddie McCann 6 6 1 0 100.00
Hivin Kenula run out (Thomas Rew) 1 3 0 0 33.33
Manuja Chanthuka not out 4 4 1 0 100.00


Extras 20 (b 1 , lb 10 , nb 0, w 9, pen 0)
Total 260/10 (44.4 Overs, RR: 5.82)
Bowling O M R W Econ
Harry Moore 9 0 42 2 4.67
Dominic Kelly 7.4 0 51 1 6.89
Alex Green 7 0 50 1 7.14
Tazeem Chaudry Ali 8 0 41 0 5.12
Freddie McCann 9 0 39 2 4.33
Noah Thain 4 0 25 1 6.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<