ශ්‍රී ලංකා යෞවනයන්ට ඉනිමක පරාජයක්

Sri Lanka U19 tour of England 2024

3
Sri Lanka U 19 Tour of England

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති 2 වැනි සහ අවසන් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 53ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ සමත් වූවා.

ඒ අනුව තරග 2කින් යුත් යොවුන් ටෙස්ට් තරගය තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩකයෝ සමත් වූවා. දෙරට අතර පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගය නිමා වූයේ විසඳුමකින් තොරවයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 153ක් පමණක් වන අතර එංගලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 477ක් ලබා ගත්තා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 324ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එවර තම ඉනිම ලකුණු 271කට සීමා කර ගත්තා.

Cheltenham විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ අවසන් දිනය ආරම්භ වෙන්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 246ක් ලෙසින් පැවැතෙද්දීයි.

ඒ අනුව ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 78ක් අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ඉතිරි ව තිබූ කඩුලු 3 දවස පුරා ආරක්ෂා කර ගැනීමට ද සිදු වූවා.

නමුත් ඔවුන්ට තරගය නිමා වූ පෙර දිනයේ ගෙවා දැමීමට හැකි වෙන්නේ තවත් පන්දුවාර 11ක් පමණයි.

දිනයේ පළමු බිලි වීම පෙර දින නොදැවී ලකුණු 13ක් ලබා සිටි විහස් තෙව්මික යි. ඔහු දැවී යන විට පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මනුජ චන්තුක (1) සහ ශෙෂාන් මාරසිංහ (1) අඩු ලකුණුවට තම ඉනිම් අවසන් කර ගත්තා.

තරගය අවසන් වෙද්දී ශ්‍රී ලංකා ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 271ක් වී තිබූ අතර පිටියේ නොදැවී රැදී සිටි ප්‍රවීන් මනීෂ පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් දිනය ලකුණු 25කට පමණක් සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූවා.

එංගලන්තය වෙනුවෙන් Farhan Ahmed ලකුණු 59කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Harry Moore සහ Charlie Barnard කඩුලු ද්විත්වය බැගින් ද, Naavya Sharma සහ Noah Thain කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (45.2) ගයන වීරසිංහ 77, Naavya Sharma 5/44, Harry Moore 2/38, Charlie Barnard 2/35

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 477 (117.0) Jaydn Denly 91, Keshana Fonseka 76, Hamza Shaikh 107, Rocky Flintoff 106, Jack Carney 29, Harry Moore 24, විහස් තෙව්මික 3/82, මනුජ චන්තුක 2/59, ප්‍රවීන් මනීෂ 3/112

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 271 (84.5) තිසර ඒකනායක 39, මහිත් පෙරේරා 61, දිනුර කළුපහන 40, විහස් තෙව්මික 18, ප්‍රවීන් මනීෂ නොදැවී 18, Harry Moore 2/41, Farhan Ahmed 4/59, Charlie Barnard 2/55

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<