ශ්‍රී ලංකා යෞවනයෝ අසීරු තත්තවයක

1
Sri Lanka U 19 Tour of England 2nd Youth Test Day 3

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අවසන් වෙද්දී සංචාරක ක්‍රීඩකයෝ පරාජයෙන් ගැලවීමට තියුණු තරගයට මුහුණ දී සිටිනවා.

 ශ්‍රී ලංකා යෞවනයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 153ට පිළිතුරු ලෙසින් එංගලන්තය යෞවනයෝ පෙර දින සියලුම දෙනා දැවී ලකුණු 477ක් ලබා ගත් අතර තරගය 3 වැනි දිනයට නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 246ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැලවීමට සඳහා තවත් ලකුණු 78ක් පිටුපසිනුයි සිටින්නේ. ඒ වෙනුවෙන් ඔවුන්ට කඩුලු 3ක් ආරක්ෂා කර ගනිමින් දවස පුරා පන්දුවට පහර දීමට සිදු වෙනවා.

Cheltenham විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ 2 වැනි දිනය අවසන් වෙන්නේ එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 401ක් ලබා සිටිද්දීයි. තෙවැනි දිනයට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන් තවත් ලකුණු 76ක් ඉනිමකට එක් කර ගන්නේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 324ක් ඉදිරියෙන් සිටින ලෙසින් ලකුණු පුවරුව සැකසෙද්දීයි.

එංගලන්ත ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී පන්දු 148කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 82ක් ලබා සිටි Rocky Flintoff අද තම ඉනිම ශතකයකින් සරසා ගන්නවා. ඔහු පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 106ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිමේ 2 වැනි ශතකලාභියා බවට පත් වෙනවා.

එංගලන්ත ඉනිමේ පසු පෙළ පිතිකරුවෝ තිදෙනා පන්දු 10ක් තුළ ලකුණු 12කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙන්නේ විහස් තේව්මික යි. ඔහු ලකුණු 82කට කඩුලු 3ක් දවා ගන්නවා.

ඊට අමතර ව ප්‍රවීන් මනීෂ ද කඩුලු 3ක් දවා ගන්නා අතර මනුජ චන්තුක කඩුලු 2ක් ද සහ දිනුර කළුපහන කඩුල්ලක් ද දවා ගන්නවා.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 324ක් පිටුපස සිටිමින් ආරම්භ කළ ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට මහිත් පෙරේරා සමත් වූවා. ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක දිනුර කළුපහන ද පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් එක් කිරීමට සමත් වූව ද දෙදෙනා පිට පිට පන්දුවාර 2ක පන්දු 2ක දැවී යෑමත් සමඟින් තරගයේ වැඩි වාසි සත්කාරක ක්‍රීඩකයන් සතු වූවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු තිසර ඒකනායක පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනා.

දිනය අවසන් වෙද්දී විහස් තෙව්මික ලකුණු 13ක් සහ ප්‍රවීන් මනීෂ ලකුණු නොලබා පිටියේ නොදැවී රැදී සිටියා.

ශ්‍රී ලංකා ඉනිම අසරණ කිරීමේ දී Harry Moore සහ Farhan Ahmed කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Naavya Sharma, Charlie Barnard සහ Noah Thain කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (45.2) ගයන වීරසිංහ 77, Naavya Sharma 5/44, Harry Moore 2/38, Charlie Barnard 2/35

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 477 (117.0) Jaydn Denly 91, Keshana Fonseka 76, Hamza Shaikh 107, Rocky Flintoff 106, Jack Carney 29, Harry Moore 24, විහස් තෙව්මික 3/82, මනුජ චන්තුක 2/59, ප්‍රවීන් මනීෂ 3/112

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 246 (74.0) තිසර ඒකනායක 39, මහිත් පෙරේරා 61, දිනුර කළුපහන 40, Harry Moore 2/41, Farhan Ahmed 2/41

තරගය අද (18) සිව් වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<