අසරණ වූ ඉනිමට ගයනගෙන් ලකුණු 77ක්

Sri Lanka U19 tour of England 2024

5
Sri Lanka U 19 Tour of England 2nd Youth Test Day 1

තම කණ්ඩායම ලබා ගත් ලකුණු ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා ලබා ගත් ගයන වීරසිංහ, එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ (16) දී ශ්‍රී ලංකාවේ වැඩි ගෞරවයට පත් ක්‍රීඩකයා බවට පත් වූවා.  

Cheltenham විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යෞවනයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 153ක් පමණක් වන අතර එම ලකුණු අතුරින් ලකුණු 77ක් ම ගයන වීරසිංහ විසින් ලබා ගත් ලකුණු වූවා.  

සංචාරකයන්ගේ ඉනිමට පිළිතුර ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 73ක් ලබා ගනිමින් තරගයේ වැඩි වාසි හිමිකර ගෙන සිටියා. මේ වෙද්දී ඔවුන්ට ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව හා සම්මුඛ වීමට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 80ක් පමණක් වන අතර ඒ සඳහා කඩුලු 9ක් ම ඔවුන් සතු වෙනවා.  

2 වැනි යොවුන් ටෙස්ට් තරගය, Cheltenham, ජුලි 16 – 19, 2024, Sri Lanka U19 tour of England 

  • කාසියේ වාසිය – එංගලන්තය 
  • ක්‍රීඩාංගණය – Cheltenham විද්‍යාලයීය ක්‍රීඩාංගණය. 

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වූයේ වෙනස්කම් දෙකක් සමඟිනුයි. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ සදෙව් සමරසිංහ සහ නේතන් කල්දේරා වෙනුවට තිසර ඒකනායක සහ මනුජ චන්තුක මෙම තරගයට එක් කර තිබුණා.  

එංගලන්ත කණ්ඩායම මෙම තරගයට Archie Vaughan, Harry Moore සහ Charlie Barnard යන ක්‍රීඩකයන් කණ්ඩායමට එක් කර තිබූ අතර ඒ වෙනුවට Freddie McCann, A. M. French සහ Alex Green ට කණ්ඩායමේ ස්ථාන අහිමි වූවා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, තිසර ඒකනායක, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), ගයන වීරසිංහ, මහිත් පෙරේරා, දිනිරු අබේවික්‍රමසිංහ, විහස් තෙව්මික, ප්‍රවීන් මනීශ, මනුජ චන්තුක සහ ශෙෂාන් මාරසිංහ 

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – Hamza Shaikh (නායක), Archie Vaughan, Jaydn Denly, Keshana Fonseka, Noah Thain, Rocky Flintoff, Jack Carney (කඩුලු රකින්නා), Harry Moore, Farhan Ahmed, Charlie Barnard සහ Naavya Sharma. 

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 21ක් තුළ දවා ගැනීමට සත්කාරක පන්දු යවන්නෝ සමත් වූවා.  

එහි දී පුලිඳු පෙරේරා ලකුණු 6කටත් සහ තිසර ඒකනායක ලකුණු නොලබා ම දැවී ගිය අතර ඉන් අනතුරු ව ඉනිමේ 7 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී ශාරුජන් ශම්මුගනාදන් (10) සහ මහිත් පෙරේරා (0) ද දැවී ගියා.  

පෙර තරගයේ දී ලකුණු අතර සිටි නායක දිනුර කළුපහන සහ දිනිරු අබේවික්‍රමසිංහට ද මෙම ඉනිමේ දී සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවක් දක්වන්නට ලැබෙන්නේ නැහැ. දිනුර කළුපහන ලකුණු 16කට ද සහ දිනිරු අබේවික්‍රමසිංහ ලකුණු 12කට ද තම ඉනිම් අවසන් කර ගන්නවා. 

අනතුරු ව කඩුල්ලේ දී ලකුණු 36ක සබඳතාවක් එක් කිරීමට ගයන විරසිංහ සහ විහස් තෙව්මික සමත් වූවා. විහස් තෙව්මික පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 6ක් පමණක් එක් කරමින් මෙම සබඳතාවයට දායකත්වය දැක් වීම කැපී පෙණුනා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දුවේ දී නැවත වතාවක් පිට පිට ම කඩුලු ද්විත්වයක් පූජා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙන්නේ ප්‍රවීන් මනීෂ ගේ දැවී යෑමත් සමඟිනුයි.  

එම කඩුල්ලෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට ගයන වීරසිංහ සහ මනුජ චන්තුක සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා.  

ශ්‍රී ලංකා ඉනිම යම් තරමකින් ගොඩ දැමීමේ මෙහෙවරක නිරත වීමේ ගෞරවය හිමිකර ගත්  ගයන වීරසිංහ 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා.  

අවසන් කඩුල්ල ලෙසින් මනුජ චන්තුක දැවී යද්දී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටි අතර අවසන් පිතිකරු වූ ශෙෂාන් මාරසිංහට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.   

ශ්‍රී ලංකා ඉනිම අසරණ කිරීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Naavya Sharma ලකුණු 44කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව Charlie Barnard සහ Harry Moore කඩුලු 2ක් බැගින් ද සහ Noah Thain එක් කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ තම පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබා ගන්නේ ලකුණු 54ක් එක් කර ගනිමිනුයි. එම සබඳතාව බිඳ වැටෙන්නේ මනුජ චන්තුක ගේ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක ශාරුජන් ශම්මුගනාදන් ලබා ගත් උඩ පන්දුවත් හේතුවෙනුයි.  

කෙසේ වෙතත් දිනයේ ලබා ගත් ලකුණු 73න් ලකුණු 57ක් ම රැස් කළේ දැනට නොදැවී පිටියේ රැදී සිටින ආරම්භක පිතිකරු Jaydn Denly විසිනුයි. ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටිනවා.  

අනෙක් අන්තයේ නොදැවී රැදී සිටින්නේ Keshana Fonseka (7)ක් නොදැවී පිටියේ රැදී සිටින අතර ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය මනුජ සහන් සතු වෙනවා.  

පළමු තරගයට සේ ම මෙම තරගයට ද සුපුරුදු ලෙසින් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් තරගයේ පන්දුවාර 25ක් පමණ දෙපිලේ ක්‍රීඩකයන්ට අහිමි වූවා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (45.2) ගයන වීරසිංහ 77, Naavya Sharma 5/44, Harry Moore 2/38, Charlie Barnard 2/35 

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුල්ලක් දැවී 73 (17.0) Jaydn Denly නොදැවී 57, මනුජ චන්තුක 1/07 

 

තරගය දෙවැනි දිනයටත් අද (17) ක්‍රියාත්මක වේ.  

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<