දිනුර සහ නේතන් ශ්‍රී ලංකාව 324ක් දක්වා රැගෙන යයි

Sri Lanka U19 tour of England 2024

137

දිනුර කළුපහන ගේ ශතකයත් සහ නේතන් කල්දේරා ගේ අර්ධ ශතකයත් මත ශක්තිමත් වු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ එංගලන්තය හා සමඟ පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 324ක් ලබා ගැනීමට සමත් වූවා.

Wormsley හි Sir Paul Getty’s ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ඒ පසු පස යන එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා සිටියා. ඒ අනුව සත්කාරක ක්‍රීඩකයන්ට තරගයේ පළමු ඉනිමේ දී ඉදිරියට පැමිණීමට නම් තවත් ලකුණු 131ක් අවශ්‍යයි.

තරගයේ 3 වැනි දිනය ආරම්භ වෙන්නේ 2 වැනි දිනය සම්පූර්ණයෙන් ම වර්ෂාවට අතහැරීමෙන් අනතුරුවයි. පළමු දිනයේ දී ද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.4කට පමණක් සීමා වූ තරගයේ තෙවැනි දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා යෞවනයෝ කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබා සිටියා.

මෙහි දී පෙර දිනයේ නොදැවී ලකුණු 70ක් ලබා සිටි දිනුර කළුපහන තම අන්තර් ජාතික පළමු ශතකය ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 104ක් ලබා තිබුණා.

දිනය ආරම්භ වන විට දිනුර සහ දිනුරු පිටියේ රැදී සිටි අතර ඒ අතුරින් නොදැවී ලකුණු 35ක් ලබා සිටි දිනිරු අබේවික්‍රමසිංහ ට තවත් ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 8ක් පමණයි. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටිය දී ඉනිම හැර යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 202ක් බවට පත් ව තිබුණා.

දිනුර සහ දිනිරු එක් ව 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 99ක්. දිනිරු අබේවික්‍රමසිංහ ගේ දැවී යෑමෙන් අනතුරු ව ඒ හා ආසන්නයේ ම ශතකලාභී නායක දිනුර කළුපහනට ද තම ඉනිම හැර යන්නට සිදු වෙනවා.

එතැන් සිට ශ්‍රී ලංකා ලකුණු සුක්කානම භාර ගන්නේ නේතන් කල්දේරා විසිනුයි. ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.

ඊට අමතර ව විහස් තෙව්මික ලකුණු 19ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළ අතර ප්‍රවීන් මනීෂ (8) සහ ශෙෂාන් මාරසිංහ (නොදැවී 0) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී A. M. French ලකුණු 81කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Alex Green සහ N. Sharma කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 8ක් වෙද්දී දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූව ද එය දිගින් දිගට ම පවත්වා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

පළමු කඩුල්ලේ දැවී යෑමෙන් අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160ක සබඳතාවක් ගොඩ නැගීමට Freddie McCann සහ Keshana Fonseka සමත් වූවා. හිසරදයක් බවට පත් ව තිබූ එම කඩුල්ලේ සබඳතාව බිඳ දැමුණේ Freddie McCann ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඒ වෙද්දී ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියා. එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව ලකුණු 13ක දී තවත් කඩුලු ද්විත්වයක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූවා.

කෙසේ වෙතත් තරගය 3 වැනි දිනයට නතර කරන විට Keshana Fonseka පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ද සහ Rocky Flintoff පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද ලබා ගනිමින් පිටියේ රැදී සිටියා.

එංගලන්තයට එරෙහි ව පන්දු යැවීමේ දී විහස් තෙව්මික ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත් මෙතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ප්‍රවීන් මනීශ සහ නේතන් කල්දේරා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 324 (85.4) මහිත් පෙරේරා 22, දිනුර කළුපහන 104, දිනිරු අබේවික්‍රමසිංහ 43, නේදන් කල්දේරා 55, විහස් තෙව්මික 19, N. Sharma 2/59, A. M. French 4/81, Alex Green 2/36

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 193 (48.0) Freddie McCann 92, Keshana Fonseka නොදැවී 72, විහස් තෙව්මික 2/37

තරගය සිව් වැනි සහ අවසන් දිනයටත් අද (11) ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<