දිනුර ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

86
Sri Lanka U 19 Tour of England 1st Youth Test Day 1

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දිනුර කළුපහන ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් ඊයේ (08) ආරම්භ වූ පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සැනසුම් සුසුම් හෙළමින් අවසන් කිරීමට සංචාරක ශ්‍රී ලාංකිකයන්ට හැකි වූවා.

 Wormsley හි Sir Paul Getty’s ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 37ක දී දැවී ගිය ද, තරගයේ පළමු දිනය අවසන් වෙන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලෙසයි. එහි දී නායකත්වයේ ඉනිමක නිරත වූ දිනුර කළුපහන නොදැවී ලකුණු 70ක් ලබා සිටියා.

1 වැනි යොවුන් ටෙස්ට් තරගය, Wormsley, ජුලි 08-11, 2024, Sri Lanka U19 tour of England

o කාසියේ වාසිය – එංගලන්තය

o ක්‍රීඩාංගණය – Sir Paul Getty’s, Wormsley

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, සදෙව් සමරසිංහ, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), ගයන වීරසිංහ, මහිත් පෙරේරා, දිනිරු අබේවික්‍රමසිංහ, විහස් තෙව්මික, ප්‍රවීන් මනීශ, ශෙෂාන් මාරසිංහ නාතන් කල්දේරා.

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – Hamza Shaikh (නායක), Jaydn Denly, Freddie McCann, Keshana Fonseka, Noah Thain, Rocky Flintoff, Jack Carney (කඩුලු රකින්නා), Farhan Ahmed, A. M. French, Alex Green සහ  N. Sharma.

අයහපත් කාලගුණ තත්ත්වය මත ප්‍රමාද වී ආරම්භ වු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පුලිඳු පෙරේරා සහ සදෙව් සමරසිංහ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා.

නමුත් ඔවුන්ට වැඩි වේලාවක් පිටියේ රැදී සිටිමට හැකි වෙන්නේ නැහැ. ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 7ක් එක් ව තිබිය දී සදෙව් සමරසිංහ ලකුණු 2කට දැවී ගියා.

අනතුරු ව පුලිඳු පෙරේරා ලකුණු 13කට ද, ගයන වීරසිංහ ලකුණු 7කට ද සහ ශාරුජන් ශම්මුගනාදන් ලකුණු 10කට ද ලෙසින් දැවී යමින් ශ්‍රී ලංකා ඉනිම අසරණ තත්ත්වයකට පත් කළා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩලු 4කට ලකුණු 37ක් ලෙසයි.

එතැන් සිට පිටියේ රැදී සිටි මහිත් පෙරේරා සහ නායක දිනුර කළුපහන ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගනිද්දී, වර්ෂාව විසින් ඊට බාධා එල්ල කළා. ඒ සමඟින් තරගයට කෙටි විවේකයක් ලැබෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ පන්දුවාර 13ක දී කඩුලු 4ක් දැවී ලකුණු 49ක් ලෙසයි.

වර්ෂාවෙන් අනතුරුව ද පිටියේ වැඩි වේලාවක් ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා ඉනිම වැටි සිටි තත්ත්වයෙන් තරමක් හෝ ගොඩ ගැනීමට ඔවුන් දෙදෙනාට හැකි වූවා. එහෙත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 103ක් වෙද්දී ඉනිමේ 5 වැනි කඩුල්ල ද බිඳ වැටුණා.

ඒ මහිත් පෙරේරා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටි අතර එම කඩුල්ලට දිනුර කළුපහන සමඟ ලකුණු 66ක සබඳතාවක් ද එක් කිරීමට ඔවුන් සමත් ව සිටියා.

අනතුරු ව දිනුර කළුපහනට එක් වෙන්නේ එංගලන්ත එක්දින තරගාවලියේ දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 93ක් ලබා ගනිමින් ලකුණු අතර සිටි දිනිරු අබේවික්‍රමසිංහ යි. ඔවුන් දෙදෙනා මනා අවබෝධයකින් යුතුව එංගලන්ත පන්දු යවන්නන්ට මුහුණ දෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිටියා. නමුත් පළමු වර්ෂාවෙන් අනතුරු ව යැවුණ 30 වැනි පන්දුවාරයේ දී නැවත පිටියට වර්ෂාව පතිත වෙමින් ඔවුන්ගේ සබඳතාවට විවේකයක් ලැබෙනවා.

දිගින් දිගට ම වර්ෂාව පැවැතී ම හේතුවෙන් පිටියේ විනිසුරුවන් විසින් තරගය පළමු දිනයට නතර කරන ලද අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම, කඩුලු 5 නතර වී ලකුණු 177ක් ලකුණු පුවරුවට එක් වී තිබුණා.

තමන් මුහුණ දුන් 98 වැනි පන්දුවේ දී හතරේ පහරක් එල්ල කරමින් තම අර්ධ ශතකය සපුරා ගත් නායක දිනුර කළුපහන තරගය පළමු දිනයට නතර කරන විට පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා සිටියා.

ඔහු දිනිරු අබේවික්‍රමසිංහ සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 74ක නොබිඳුණ සබඳතාවක් ගොඩ නගන්නේ පන්දු 84ක් පමණක් ඒ වෙනුවෙන් වැය කරමිනුයි. එහි දී දිනිරු අබේවික්‍රමසිංහ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගන්නවා.

කඩුලු ලබා ගැනීමේ දී A. M. French ලකුණු 56කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Alex Green සහ N. Sharma කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 177 (42.4) මහිත් පෙරේරා 22, දිනුර කළුපහන නොදැවී 70, දිනිරු අබේවික්‍රමසිංහ නොදැවී 35, A. M. French 2/56

තරගය දෙවැනි දිනයටත් අද (09) ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<