චන්දිමාල් සහ මැතිව්ස්ගෙන් සුපිරි ශතක

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2021

992

එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියට පෙර ඊට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය සහ සංචිතය තෝරාගැනීම වෙනුවෙන් අද (19) කොළඹ ක්‍රිකට් සමාජ (CCC) පිටියේ දී පුහුණු එක්දින තරගයක් පැවැත්වුනා.

දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම සහ දසුන් ශානකගේ කණ්ඩායම අතර පැවති මේ තරගයේ දී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී පිතිකරණ තරු බවට පත්වුනා. දිනයේ වැඩිම ලකුණු ලාභියා වුණු චන්දිමාල් දසුන් ශානකගේ කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 149ක් ලබා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චන්දිමාල් කණ්ඩායමේ ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින්  සිය ඉනිම අලංකාරවත් කරගත්තේ පන්දු 123ක් සඳහා මුහුණ දෙමින්.

ඔහුට අමතරව වේගවත් අර්ධ ශතක ලබා ගත් වනිඳු හසරංග සහ නායක දසුන් ශානක ඔවුන්ගේ කණ්ඩායමේ ලකුණු සටහන ඉහළ දැමුවේ දල ලකුණු සටහන ද ඉහළ දමමින්. චන්දිමාල් සමඟින් එක් වුණු නායක දසුන් ශානක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබඳතාවයක් ගොඩනැංවූ අතර පන්දු 58කට මුහුණ දුන් දසුන් ශානක එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 51ක් වාර්තා කරගත්තා.

හතරේ පහර 7ක් පමණක් එල්ල කරමින් සිය දායකත්වය කණ්ඩායම වෙනුවෙන් දැක්වූ වනිඳු පන්දු 56ක දී නොදැවී ලකුණු 80ක් රැස් කර ගත්තා. අවසානයේ දී ශානකගේ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 321ක් ලබාගත්තා.

ලකුණු 322ක ඉලක්කයක් හම්බ යාම වෙනුවෙන් පිටියට පිවිසි කරුණාරත්නගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 121ක් ලබා ගනිමින් සුපිරි ශතකයක් ලබා ගත්තා. ඒ සඳහා පන්දු 128කට මුහුණ දුන් ඔහු හයේ පහර 4ක් සහ හතරේ පහර 11ක් සිය සටන්කාමී ඉනිමට ඇතුළත් කරගත්තා.

ඔහුට අමතරව අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕෂද ප්‍රනාන්දු හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 71ක දී ලකුණු 57ක් ලබා ගත් අතර තිසර පෙරේරා ලකුණු 33ක් වාර්තා කරගත්තා.

කරුණාරත්නගේ කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටිය දී තරගයට ආලෝකය හරස් වීම මත 45 වැනි පන්දුවාරයේ දී තරගය නිමා කිරීමට සිදු වුනා. ඒ වන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 258ක් ලබාගෙන සිටියා. පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම දස්කම දැක්වූ නුවන් ප්‍රදීප් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තා.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොදෙව් සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා වේගපන්දු යවන පුහුණුකරු වන චමින්ද වාස් ද මේ තරගය තුල දී ක්‍රීඩකයින් හට සිය දැනුම සහ අත්දැකීම් ලබා දෙමින් පුහුණුකරුවෙක් ලෙස සිය වගකීම ඉටු කිරීම ආරම්භ කර තිබුණා.

දසුන් ශානක XI  – පන්දුවාර 50 කදී කඩුලු 5 කට ලකුණු 321 යි – දිනේෂ් චන්දිමාල් 149*, වනිඳු හසරංග 80*, දසුන් ශානක 51, ලහිරු කුමාර 2/60, රමේෂ් මෙන්ඩිස් 2/56.

දිමුත් කරුණාරත්න XI – පන්දුවාර 45 කදී කඩුලු 8 ට ලකුණු 258 යි – ඇන්ජලෝ මැතිව්ස් 121, ඕෂධ ප්‍රනාන්දු 57, තිසර පෙරේරා 33, පැතුම් නිස්සංක 18, නුවන් ප්‍රදීප් 3/23, වනිඳු හසරංග 2/64.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<