අපට හමුවෙන දකුණු අප්‍රිකානුවෝ

Sri Lanka A Tour of Pakistan

37
Sri Lanka A Tour of Pakistan

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

1 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

නොවැම්බර් 27 සිට දෙසැම්බර් 01 දක්වා Durban හි දී.

2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

දෙසැම්බර් 05 සිට 09 දක්වා Gqeberha හි දී.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තම මව්බිමේ දී මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ මේ වසර ආරම්භයේ ඉන්දියාව සමඟින් පැවැති ටෙස්ට් තරගයෙන් අනතුරුවයි. එම තරගයෙන් ඔවුන්ට කඩුලු 7ක පරාජයක් විඳ ගැනීමට සිදු වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරු ව ඔවුන් නවසීලන්තයේ දී පරාජිත තරග ද්විත්වයකටත්, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී තරග 2කින් යුත් තරගාවලිය 1-0ක් ලෙසිනුත් සහ බංග්ලාදේශයට එරෙහි ව තරග 2-0ක ජයග්‍රහණක් ලැබීමෙන් පසුවයි මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ.

එලෙසින් පැවැති අවසන් ටෙස්ට් තරගාවලියේ නායකත්වය Aiden Markram සතු වූව ද ශ්‍රී ලංකාවට එරෙහි ව කඳවුරුලන කණ්ඩායමේ නායකත්වයට නැවත Temba Bavuma නම් කර තිබෙනවා.

මේ ඔහුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවට එරෙහි ව තරග බිමට පිවිසෙන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ තොරතුරුයි.

Temba Bavuma

34 වැනි වියේ පසුවෙන මැද පෙළ පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලත් Temba Bavuma මේ දක්වා ටෙස්ට් තරග 59ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 3102ක් ලබා සිටිනවා. ඔහුගේ එම දක්ෂතා අතර ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරග 9ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 260ක් ලබා සිටිනවා. ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව හා ටෙස්ට් තරගයට එක් ව ඇත්තේ 2021 වසරේදීයි. ඒ දෙරට අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලියයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙතෙක් ටෙස්ට් තරග 5ක් දී නායකත්වයේ වගකීම දරා ඇති ඔහු ඉන් තරග 4ක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති අතර අනෙක් තරගය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

Aiden Markram

30 හැවිරිදි වියේ පසුවෙන Aiden Markram දකුණු අප්‍රිකානු කණ්ඩායම හා එක් වෙන්නේ කණ්ඩායමේ ආරම්භක දකුණත් පිතිකරු ලෙසයි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 41කට ක්‍රීඩා කරමින් ශතක 7ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 2569ක් ලබා සිටිනවා.

ඔහු දකුණු අප්‍රිකානුවෝ නිමා කළ අවසන් ටෙස්ට් තරගාවලියට නායකත්වය දුන් ක්‍රීඩකයායි. ශ්‍රී ලංකාවට එරෙහි ව මේ දක්වා ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කර ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 266ක්.

Tony de Zorzi

මෙතෙක් ටෙස්ට් තරග 8කට පමණක් එක් ව සිටිය ද ආරම්භක වමත් පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන Tony de Zorzi ද දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක් ව සිටින ප්‍රබල ප්‍රහාරකයෙක් ලෙසින් හැඳින්විය හැකියි. පසුගිය ඔක්තෝබරයේ නිමා වූ ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේ දී තම ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම වූ බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 177ක ඉනිම ක්‍රීඩා කිරීමට ද සමත් ව සිටිනවා.

ඔහු ශ්‍රී ලංකාව සමඟ තරගාවලියකට එක් වෙන පළමු අවස්ථාව මෙයයි.

Tristan Stubbs

මේ දක්වා ටෙස්ට් තරග 5කට පමණක් ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 301ක් ලබා ඇති 24 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ඉදිරිපෙළ පිතිකරු Tristan Stubbs ද විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් දකුණු අප්‍රිකානු කණ්ඩායම හා එක් ව සිටිනවා.

ශ්‍රී ලංකාව සමඟින් පළමු වරට තරගාවලියකට එක් වෙන ඔහු ද බංග්ලාදේශය සමඟින් පැවැති තම අවසන් ටෙස්ට් තරගයේ දී ශතකයකලාභී ක්‍රීඩකයෙක් වීමෙන් අනතුරුවයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

David Bedingham

30 හැවිරිදි වියේ පසුවෙන මැද පෙළ පිතිකරු David Bedingham ගේ ද ටෙස්ට් තරග ඉතිහාසයට ගත වෙන්නේ තවමත් වසරක තරම් කාලයක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 486ක්.

ඔහු ද ශ්‍රී ලංකාව හා සමඟින් තරග පිටියට පිවිසෙන්නේ පළමු වරටයි.

Ryan Rickelton

වමතින් පිත්ත හසුරුවන මැද පෙළ පිතිකරු Ryan Rickelton කණ්ඩායමේ අතිරේක කඩුලු රකින්නා ලෙසින් ද කටයුතු කරනවා. තවමත් 28 වැනි වියේ පසුවෙන ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 7කට පමණක් වන අතර ශ්‍රී ලංකාව හා තරගාවලියකට එක්වෙන කෝඩුකාරයන් අතර ඔහු ද සිටිනවා.

Kyle Verreynne

කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් නම් කර ඇති Kyle Verreynne තවමත් 27 වැනි වියේ පසුවෙන මැදි පෙළින් පිටියට පිවිසෙන විශ්වාසවන්ත පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙනවා. මේ දක්වා ටෙස්ට් තරග 20කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 833ක් ඇති ඔහු ශ්‍රී ලංකාව සමඟින් තරගාවලියකට එක් වෙන පළමු අවස්ථාව මෙයයි.

Wiaan Mulder

26 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Wiaan Mulder ද මෙම තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම පෝෂණය කරනු ඇතැයි සිතෙන ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 16කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 560ක් ද සහ කඩුලු 29ක් ද ලබා සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරග 3කට එක් ව ඇති ඔහු ලබා ඇත්තේ ලකුණු 57ක් පමණක් වන අතර පන්දු යැවීමේ දී කඩුලු 10ක් ලබා සිටිනවා.

ඔහු බංග්ලාදේශයට එරෙහි ව ක්‍රීඩා කරන ලද අවසන් ටෙස්ට් තරගයේ දී පන්දු 150ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ වසර 5ක් වන තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද සැලකෙනවා.

Senuran Muthusamy

30 හැවිරිදි වියේ පසුවෙන Senuran Muthusamy කණ්ඩායම හා එක්වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට පත්වයි. ටෙස්ට් තරග දිවියේ තරග 3කට පමණක් මෙතෙක් සහභාගී වී ඇති ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව තරග බිමට පිවිසෙන්නේ පළමු වරටයි.

Keshav Maharaj

වමතින් දඟ පන්දු යවන 34 හැවිරිදි වියේ පසුවෙන Keshav Maharaj මෙම තරගාවලිය හා එක්වෙන ඉහළ පිළිගැනීමකින් යුත් පන්දු යවන්නෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 54කට එක් වෙමින් කඩුලු 184ක් ලබා සිටිනවා. ඒ අතර ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් ව ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි ව 2018 වසරේ දී SSC ක්‍රීඩාංගණයේ දී ලකුණු 129කට දවා ගත් කඩුලු 9යි.

එම තරගයේ දී ම දෙවැනි ඉනිමේ දී ඔහු ලකුණු 154කට ලබා ගත් කඩුලු 3ත් සමඟින් ලකුණු 283කට ලබා ගත් කඩුලු 12 ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසත් සටහන් වූවා.

Kagiso Rabada

තවමත් 29 වැනි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Kagiso Rabada දකුණු අප්‍රිකාවේ මේ වන විට සිටින වේගවත් ම සහ විශ්වසනීය ම පන්දු යවන්නායි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 66කට ක්‍රීඩා කරමින් කඩුලු 313ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 7ක දී වාර්තා කරන ලද කඩුලු 35ක් ද ඒ අතර තිබුණත් ඔහු 2019 වසරෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව සමඟින් ටෙස්ට් තරග පිටියට එක් වී නැහැ.

ඔහු මේ වසරේ දී මෙතෙක් ටෙස්ට් තරග 5කට එක් වී ඇති අතර එහි දී කඩුලු 26ක් දවා ගනිමින් දක්ෂතා අතර සිටිනවා.

Dane Paterson

35 හැවිරිදි වියේ පසුවෙන Dane Paterson ද මෙම කණ්ඩායම හා එක් වෙන්නේ දකුණත් වේග පන්දු යවන්නෙක් ලෙසයි. ටෙස්ට් තරග දිවිය හා එක් වෙමින් මේ දක්වා ඔහු ක්‍රීඩා කර ඇත්තේ තරග 5කට පමණක් වන අතර ශ්‍රී ලංකාව හා එක්වෙන කෝඩුකාරයන් අතර ඔහු ද එක් ක්‍රීඩකයෙක්.

Marco Jansen

වමතින් මඳ වේග පන්දු යවන 24 හැවිරිදි වියේ පසුවෙන Marco Jansen මේ දක්වා ටෙස්ට් තරග 13කට සහභාගී වෙමින් කඩුලු 49ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඉන් කඩුලු 27ක් ම තම මව්බිමේ දී දවා ගෙන ඇති ඔහු ශ්‍රී ලංකාව හා තරගාවලියකට එක් වෙන පළමු අවස්ථාව මෙයයි.

Gerald Coetzee

24 හැවිරිදි වියේ පසුවෙන Gerald Coetzee ද ශ්‍රී ලංකාවට එරෙහි ව තරග පිටියට පිවිසෙන කෝඩුකාරයන් අතර අසුනක් ලැබූ ක්‍රීඩකයෙක්. මේ දක්වා ටෙස්ට් තරග 3කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු මෙවර සංචිතය සඳහා කැඳවෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවැති දකුණු අප්‍රිකා – ඉන්දීය තරගාවලියෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<