දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක්

Sri Lanka Tour Of South Africa 2024

70

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (30) සමත් වුනා.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

ඒ වන විට කඩුල්ලේ නොදැවී රැඳී සිටි නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් විසින් ඊයේ දිනයේ දී ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් 95ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී ධනංජය විසින් පන්දු 81කින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා.

ධනංජයගේ දැවී යාමෙන් පසුව කුසල් මෙන්ඩිස් චන්දිමාල් සමඟ කඩුල්ලේ එක් වෙමින් තවත් ලකුණු 75ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් පන්දු 174ක් තුළ ලකුණු 83ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ චන්දිමාල්ගේ දැවී යාමත් සමඟ එම සබඳතාව නිමා වුනා. එමෙන්ම ඉන් මොහොතකට පසුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 282කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, මෙහි දී කුසල් මෙන්ඩිසගේ පිත්තෙන් ලකුණු 48ක් වාර්තා වුනා. එමෙන්ම මේ අතර නැවතත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Marco Jansen කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව දකුණු අප්‍රිකාවට තරගයෙන් ලකුණු 233ක ජයග්‍රහණයක් හිමි වූ අතර, සමස්ත තරගයේ දී කඩුලු 11ක් දවා ගැනීමට සමත් වූ Jansen තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<