ශ්‍රී ලංකාව ඓතිහාසික බිඳවැටීමකට; තරගයේ ග්‍රහණය දකුණු අප්‍රිකාවට

Sri Lanka Tour Of South Africa 2024

6
Sri Lanka Tour Of South Africa 2024 1st test match day 02 matc

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවැනි දිනය ඊයේ (28) ක්‍රියාත්මක වූ අතර, මේ වම විට තරගයේ ග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් පවතිනවා.

වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගයේ පළමු දිනයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා සිටි අතර, ඊයේ දිනයේ දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 191කට සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

මෙහි දී පළමු දිනයේ සිය කඩුල්ල දෙවරක් බේරා ගත් නායක Temba Bavuma ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වූ අතර, Keshav Maharaj ලකුණු 24කින් ඉනිමට දායක වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 3 බැගින් දවාගන්නා අතරේ, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මේත් සමඟින් ම ප්‍රභාත් ජයසූරිය තම ටෙස්ට් කඩුලු 100 කඩ ඉම තරණය කිරීමට ද සමත් වීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව විසින් පළමු ඉනිම සඳහා ලබා ගත් ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය ටෙස්ට් තරගයක නම් තරමක් උදාසීන මට්ටමේ එකක් ලෙස පෙනෙන්නට තිබුණත්, මෙවර එය සටනක් දිය හැකි මට්ටමේ එකක් බවට පත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් විසින් සමත් වුනේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමා කරමිනුයි.

මෙය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.

ශ්‍රී ලංකා ඉනිම බිඳ හෙළීමේ පෙරමුණ ගත් Marco Jansen කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා. මේ අතර Gerald Coetzee විසින් කඩුලු 2ක් දවාගත්තා.

මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්වය ලකුණු 32ක් වූ විට කඩුලු 4ක් දැවී ගිය අතර, එම කඩුලු බිඳ වැටීම නතර කරමින් ඉනිමට තවත් ලකුණු 10ක් එක් කිරීමට ලහිරු කුමාර සමත් වුනේ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි ඉහළම ලකුණු ලාභියා බවට පත් වෙමිනුයි.

මේ අනුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 149ක් පිටුපසින් සිටිනා අතරේ දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා.

එහි දී ඔවුන් සිය පළමු ඉනිමට වඩා හාත්පසින් ම වෙනස් ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මෙහි දී Adien Markramගේ පිත්තෙන් ඉනිමට ලකුණු 47ක් එක් වූ අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. මේ වන විට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් පසුවනවා.

තරගයේ දෙවැනි දිනය අද (29) ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<