ශ්‍රී ලංකා පළමු ඉනිමට එංගලන්ත Lions වෙතින් වේගවත් පිළිතුරක්

Sri Lanka Tour Of England 2024

2
Sri Lanka Tour of England 2024

ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ පළමු සහ එකම පුහුණු තරගය ඊයේ (14) ආරම්භ වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය England Lions නායක Lyndon James සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක තරගයේ පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා. 

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට සමත් වුනේ ලකුණු 36ක් පමණයි. ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 26ක් ලබා පිටියෙන් ඉවත් වූ අතර, නිශාන්ගේ ඉනිම ලකුණු 11කට සීමා වුනා. 

එයින් පසුව පිටියට පිවිසි අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද එතරම් සාර්ථක ඉනිම් දියත් කිරීමට Lions පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් ලකුණු 95ක් තුළ බිඳ වැටුණු අතර, මොහොතේ කඩුල්ලේ එක් වූ මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය අට වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක් එක් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 100 කඩ ඉම දක්වා රැගෙන ගියා. මෙහි දී මිලාන් ලකුණු 17ක් සහ ප්‍රභාත් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ද පිටියෙන් ඉවත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 139කට සීමා වුනා. මෙහි දී England Lions වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Zaman Akhter කඩුලු 5ක් බිඳ හෙළද්දී, Josh Hull හට කඩුලු 3ක් හිමි වුනා. 

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වාර්තා වූ ලකුණු 139ට පිළිතුරු ලෙස ඉනිම ආරම්භ කළ England Lions කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පන්දු 40ක් තුළ ලකුණු 46ක් ලබා සිටි Ben McKinney දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, ලකුණු 25ක් ලබා සිටි Rob Yates දවා ගැනීමට මිලාන් රත්නායක සමත් වුනා. 

ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 11 පන්දු 2ක් තුළ ලකුණු 72ක් එක් වූ නමුත්, ඉන් පසුව එංගලන්ත Lions ඉනිමට දීර්ඝ පිතිකරණ සබඳතා වෙත යාමට හැකි වුනේ නැහැ. දිනය නිමා වන විට Lions පිතිකරුවන් පන්දුවාර 34ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වී සිටියා. Lions ඉනිමේ බිඳ වැටුණු කඩුලු 4න් 3ක්ම ප්‍රභාත් ජයසූරිය සතු වීම විශේෂත්වයක්. 

තරගයේ දෙවැනි දිනය අද (15) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<