ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය

Sri Lanka Tour of England

1
Sri Lanka Tour of England 2024

ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු වැනි ප්‍රතිවාදීන් වන එංගලන්තය සමඟ පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 21 වැනිදා සිට එරට දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, ටෙස්ට් තරග සංචාරයක් සඳහා එංගලන්තයේ දී එක් වෙන්නේ වසර 8කට පසුවයි. ඔවුනොවුන් අවසන් වරට එංගලන්තයේ දී හමුව ඇත්තේ 2016 වසරේ මැයි – ජුනි මාසවලදීයි. තරග 3කින් යුත් එම තරගාවලියේ දී එංගලන්තය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

එමෙන් ම ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තයට එරෙහි ව ටෙස්ට් තරගයක් සහ තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ මීට වසර 10කට පෙර 2014 වසරේ ජුනි මාසයේ දී යි. තරග 2කින් යුත් එම තරගාවලියේ පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන් වන අතර දෙරට අතර Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 100ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

කෙසේ වෙතත් එම තරග පරාජයෙන් පසුව මේ දක්වා එංගලන්ත කණ්ඩායම අපරාජිතව සිටීමට සමත් ව සිටීම ද වගබලාගෙන තිබෙනවා. ඔවුන් එතැන් සිට ශ්‍රී ලංකාව සමඟින් තරග 8කට එක් ව ඇති අතර ඉන් තරග 7ක් ජයග්‍රහණය කරමින් නිමා කරන ලද අතර අනෙක් තරගය අවසන් කර ඇත්තේ විසඳුමකින් තොරවයි.

මේ එතැන් සිට තරගාවලියයි.

1 වැනි ටෙස්ට් තරගය

  • අගෝස්තු 21 සිට 25 දක්වා, Manchester ක්‍රීඩාංගණයේ දී.

2 වැනි ටෙස්ට් තරගය

  • අගෝස්තු 29 සිට සැප්තැම්බර් 02 දක්වා, Lord’s ක්‍රීඩාංගණයේ දී.

3 වැනි ටෙස්ට් තරගය

  • සැප්තැම්බර් 6 සිට 10 දක්වා, The Oval ක්‍රීඩාංගණයේ දී.

මේ දෙරට අතර පැවැත්වෙන 18 වැනි ටෙස්ට් තරගාවලියයි. මේ දක්වා පැවැති තරගාවලි 17 දී එංගලන්තය තරගාවලි 9ක ජයග්‍රහණ ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ තරගාවලි 5ක ජයග්‍රහණ පමණයි. ඉතිරි තරගාවලි 3 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

ඒ අනුව ඔවුනොවුන් ටෙස්ට් තරග 36ක් මේ දක්වා නිමා කර ඇති අතර එම තරගවලින් තරග 17ක ජයග්‍රහණ එංගලන්තය විසින් ද තරග 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව විසින් ද ලබා ගෙන තිබෙනවා. ඉතිර තරග 11 නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2021 වසරේ ජනවාරියේ දී එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරයේදීයි. තරග 2කින් යුත් එම තරගාවලියේ දී 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ඊට පෙර 2018 වසරේ නොවැම්බරයේ දී ද එංගලන්ත ක්‍රීඩකයෝ මෙරට ට පිවිසෙන අතර එවර ද තරග 3කින් යුත් තරගාවලිය 3-0ක් ලෙසින් පරාජය වීමට සත්කාරකයන්ට සිදු වෙනවා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරගාවලියන් නිමා වී ඇති ආකාරය

  සත්කාරකත්වය තරග ජය විසඳුම ශ්‍රී ලංකා නායක එංගලන්ත නායක වසර
1 ශ්‍රී ලංකාව 1 එංගලන්තය 1-0 බන්දුල වර්ණපුර Keith Fletcher 1982
2 එංගලන්තය 1 විසඳුමක් නෑ 0-0 දුලිප් මෙන්ඩිස් David Gower 1984
3 එංගලන්තය 1 එංගලන්තය 1-0 රංජන් මඩුගල්ලේ Graham Gooch 1988
4 එංගලන්තය 1 එංගලන්තය 1-0 අරවින්ද ද සිල්වා Graham Gooch 1991
5 ශ්‍රී ලංකාව 1 ශ්‍රී ලංකාව 1-0 අර්ජුන රණතුංග Alec Stewart 1993
6 ශ්‍රී ලංකාව 1 ශ්‍රී ලංකාව 1-0 අර්ජුන රණතුංග Alec Stewart 1998
7 ශ්‍රී ලංකාව 3 එංගලන්තය 2-1 සනත් ජයසූරිය Nasser Hussain 2000
8 එංගලන්තය 3 එංගලන්තය 2-0 සනත් ජයසූරිය Nasser Hussain 2002
9 ශ්‍රී ලංකාව 3 ශ්‍රී ලංකාව 1-0 හෂාන් තිලකරන්ත Michael Vaughan 2004
10 එංගලන්තය 3 විසඳුමක් නෑ. 1-1 මහේල ජයවර්ධන Andrew Flintoff 2006
11 ශ්‍රී ලංකාව 3 ශ්‍රී ලංකාව 1-0 මහේල ජයවර්ධන Michael Vaughan 2007
12 එංගලන්තය 3 එංගලන්තය 1-0 තිලකරත්න ඩිල්ශාන් / කුමාර් සංගක්කාර Andrew Strauss 2011
13 ශ්‍රී ලංකාව 2 විසඳුමක් නෑ 1-1 මහේල ජයවර්ධන Andrew Strauss 2012
14 එංගලන්තය 2 ශ්‍රී ලංකාව 1-0 ඇන්ජලෝ මැතිව්ස් Alastair Cook 2014
15 එංගලන්තය 3 එංගලන්තය 2-0 ඇන්ජලෝ මැතිව්ස් Alastair Cook 2016
16 ශ්‍රී ලංකාව 3 එංගලන්තය 3-0 දිනේෂ් චන්දිමාල් / සුරංග ලක්මාල් Joe Root 2018
17 ශ්‍රී ලංකාව 2 එංගලන්තය 2-0 දිනේෂ් චන්දිමාල් Joe Root 2021

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්…

628/8d (182.0): ශ්‍රී ලංකා කණ්ඩායම 2003 වසරේ දී කොළඹ SSC පිටියේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට අතුරින් කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.

එම වාර්තාවේ එංගලන්තය සතු දක්ෂතාව වන්නේ 2014 වසරේ දී Lord’s ක්‍රීඩාංගණයේ දී කඩුලු 9ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 575යි.

81/10 (30.5): දෙරට අතුරින් අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම බවට පත් වෙන්නේ එංගලන්තයයි. ඔවුන් 2007 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ අකරතැබ්බයට මුහුණ දෙනවා.

ශ්‍රී ලංකාව ද 2001 වසරේ SSC ක්‍රීඩා පිටියේ දී ලකුණු 81කට දැවී යමින් ඔවුන් හා සමතැන් හී ගෙන සිටිනවා.

1496: 2014 වසරේ දී Lord’s ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ක්‍රීඩකයෝ එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ඉතිහාස ගත ව තිබෙනවා.

508: දෙරට ක්‍රීඩකයෝ තරගයක දී ලබා ගන්නා ලද අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ මෙයයි. මෙම තරගය 2016 වසරේ දී Leeds හී දී පැවැතියා.

inns & 215 runs: ශ්‍රී ලංකාව, එංගලන්තය එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ලත් මෙම ජයග්‍රහණය දෙරට අතුරින් වැඩිම පරතරයකින් යුක්තව ජයග්‍රහණය කළ තරගය ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.

211: වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමේ වාර්තාව සතු වෙන්නේ 2018 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්තය ලැබූ ජයග්‍රහණයයි.

2212: මහේල ජයවර්ධන දෙරට පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 23ක ඉනිම් 41කට ක්‍රීඩා කරමිනුයි.

මෙම වාර්තාවට වර්තමාන ක්‍රීඩකයන් අතුරින් ළඟා වී සිටින්නේ එංගලන්තයේ Joe Root වන අතර ඔහු මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව තරග 10ක දී ලකුණු 1001ක්.

228: දෙරට පිතිකරුවන් අතුරින් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව එංගලන්තයේ Joe Root සතු වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2021 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

එමෙන් ම ඔහු දෙරට වෙනුවෙන් ද්විත්ව ශතක 2ක් ලබා ගත් එක ම ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා. ඔහුගේ අනෙක් ද්විත්ව ශතකය 2014 වසරේ දී Lord’s ක්‍රීඩාංගණයේ දී වාර්තා කෙරෙනවා.

දෙරට ඉතිහාසයේ ද්විත්ව ශතකලාභී ලැයිස්තුව

  Player Team Runs Balls 4s 6s SR Ground Year
1 Joe Root එංගලන්තය 228 321 18 1 71.02 ගාල්ල 2021
2 මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව 213* 411 25 0 51.82 ගාල්ල 2007
3 සනත් ජයසූරිය ශ්‍රී ලංකාව 213 278 33 1 76.61 Oval 1998
4 Jonathan Trott එංගලන්තය 203 409 17 0 49.63 Cardiff 2011
5 මාවන් අතපත්තු ශ්‍රී ලංකාව 201* 536 18 0 37.50 ගාල්ල 2001
6 Joe Root එංගලන්තය 200* 298 16 0 67.11 Lord’s 2014

8x100s: මෙතෙක් තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභියා වන්නේ මහේල ජයවර්ධනයි.

18x50+s: එමෙන් ම දෙරට තරග ඉතිහාසයේ ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරන ලද ඉනිම් වැඩිම ප්‍රමාණයක හිමිකරු වන්නේ ද මහේල ජයවර්ධනයි.

190: දෙරට ඉතිහාසයේ මංගල ශතකලාභියා ලෙසින් අභිශේක ලබන්නේ ශ්‍රී ලංකාවේ සිදත් වෙත්තිමුනි. ඔහු 1984 දී Lord’s ක්‍රීඩාංගණයේ දී මෙම දක්ෂතාව සිදු කරනවා.

201*: දෙරට ඉතිහාසයේ මංගල ද්විත්ව ශතකලාභියා ලෙසින් අභිශේක ලබන්නේ ශ්‍රී ලංකාවේ මාවන් අතපත්තු. ඔහු 2001 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම දක්ෂතාව සිදු කරනවා.

112: දෙරට පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලුලාභියා ලෙසින් ඉතිහාසයට එක් වෙන්නේ මුත්තයියා මුරලිදරන්. ඔහු මෙම දක්ෂතා සිදු කරන්නේ තරග 16ක ඉනිම් 30ක දී පන්දු යවමිනුයි.

9/65 (54.2): 1998 වසරේ දී The Oval ක්‍රීඩාංගණයේ දී මුත්තයියා මුරලිදරන් පෑ මෙම දක්ෂතා ව එතෙක් මෙතෙක් ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වෙනවා.

16/220 (113.5): ඉහත තරගයේ පළමු ඉනිමේ දී ද ලකුණු 155කට කඩුලු 7ක් දවා ගන්නා මුත්තයියා මුරලිදරන් ඒ අනුව තරගයේ දී කඩුලු 16ක් දවා ගනිමින් දෙරට ඉතිහාසයේ තරගයක දී වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට ද පත් වෙනවා.

16x4+wkts: ඉනිමක කඩුලු 4ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථාවන් හී ඉහළින් ම සටහන් වෙන්නේ ද මුත්තයියා මුරලිදරන්ගේ නමයි.

4×10+wkts: තරගයක දී කඩුලු 10කට වැඩියෙන් අවස්ථා 4ක දී ලබා ගත් මුත්තයියා මුරලිදරන් එම වාර්තාවේ ද පළමු අසුන වෙන් කර ගන්නවා.

262: දෙරට තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවේ වාර්තාව සතු වෙන්නේ 2003 වසරේ දී තිලාන් සමරවීර සහ මහේල ජයවර්ධන විසින් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<