පැතුම් ශ්‍රී ලංකාවේ පැතුම ඉටු කරයි!

Sri Lanka Tour of England 2024

27
Sri Lanka Tour of England 2024

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුනා.

තරගයේ තෙවැනි දිනය නිමා වන විට එංගලන්තයෙන් ලද ලකුණු 219ක ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

දිනය ආරම්භ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් අද දිනයේ දැවී ගිය එකම කඩුල්ල ලෙස ලකුණු 39කට පිටියෙන් ඉවත් කිරීමට Gus Atkinson විසින් සමත් වුනේ පැතුම් නිස්සංක සහ කුසල් අතර නිර්මාණය වුනු ලකුණු 69ක සබඳතාව බිඳ දමමිනුයි.

කුසල්ගේ දැවී යාමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් පැතුම් සමඟ කඩුල්ලේ එක් වුනා.

මැතිව්ස් සහ පැතුම් යුගලය එතැන් පටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 111ක නොබිඳුණු සබඳතාවක් නිර්මාණය කිරීමට සමත් වුනා.

මෙහි දී මැතිව්ස් විසින් පන්දු 61ක් තුළ ලකුණු 32ක් ලබා ගනිමින් පැතුම්ට සිය සහයෝගය ලබා දුන්නා. මේ අතර ඊයේ (08) දිනයේ දී වේගවත් අර්ධ ශතකයක් කරා යාමට සමත් වූ පැතුම් අද දිනය තුළ ද තම ඉනිමේ වේගය මදකට හෝ බාල නොකරමින් පන්දු 124ක් තුළ ලකුණු 127ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 02ක් සහ හතරේ පහර 13ක් ද ඉනිමට එක් කර ගනිමිනුයි.

ඒ අනුව පන්දුවාර 40 පන්දු 3ක් තුළ ශ්‍රී ලංකාව අදාළ ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී හඹා යාමට සමත් වුනේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ගනිමිනුයි.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

සමස්ත තරගයේ දී වේගවත් ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වූ පැතුම් නිස්සංක තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගන්නා අතරේ, Joe Root තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමි කර ගැනීමට සමත් වුනා.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<