බංගලියන්ට එරෙහි කුසල්ගේ ගැන්සිය

Sri Lanka Tour of Bangladesh 2024

185
Sri Lanka Tour of Bangladesh 2024

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) එරට Chattogram හී Zahur Ahmed Chowdhury ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලියේ අනෙක් තරග 2 ද මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට යෝජිත අතර එම තරග ද්විත්වය මේ මස 15 වැනිදා සහ 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශය මෙම තරගය සඳහා එක් වෙන්නේ නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙතින් 2-1ක පරාජයක් ලබමින් වන බැවින් ඔවුන් ලත් පරාජය අවම කර ගැනීමට මෙම තරගාවලියේ දී සංචාරක ක්‍රීඩකයෝ පරාජය කිරීමට තම උපරිම හැකියාවන් යොදා ගනු ඇතැයි සිතිය හැකියි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඉතිහාසය

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ආරම්භය සිදු වෙන්නේ මීට වසර 38ක ඉහත දී 1986 වසරේ දීයි. එතැන් සිට දෙරට ක්‍රීඩකයෝ එක්දින ජාත්‍යන්තර තරග 54කට ක්‍රීඩා කර ඇති අතර එම තරග අතුරින් තරග 42ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව විසින් ද සහ තරග 10ක ජයග්‍රහණ බංග්ලාදේශය විසින් ද ලබා තිබෙනවා. ඉතිරි තරග 2 නිමා වී ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.

දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට ද්විත්ව තරගාවලියකට එක් ව ඇත්තේ 2021 වසරේ දී වන අතර එම තරගාවලියේ ද සත්කාරකත්වය දරා ඇත්තේ බංග්ලාදේශයයි. තරග 3කින් යුත් එම තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් වෙනවා.

එමෙන් ම දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට එකිනෙකා හමු වූ අවස්ථාවේ දී ද ජයග්‍රහණය හිමි කර ගන්නේ බංග්ලාදේශයයි. ඒ නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

මේ එතැන් සිටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ නිමා වූ ආසන්නත ම එක්දින ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයේ ම ජයග්‍රාහකයන් ලෙසයි. සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය සමඟින් තරග 3කින් යුක්තව පැවැති එම තරගාවලි ද්විත්වය ම පැවැතියේ මෙරට දී යි.

එහි දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 2-0ක් සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග 3-0ක් ලෙසින් නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙහෙයවීමේ වරම් හිමි ව ඇත්තේ කුසල් මෙන්ඩිස් වෙත වන අතර ඔහු මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම 13 වතාවක දී මෙහෙයවා තිබෙනවා. ඉන් අවස්ථා 7ක දී තරග ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් ව ඇති අතර තරග 5ක් පරාජය වී තිබෙනවා. අනෙක් තරගය නිමා වී ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.

නම් කරන ලද මෙම කණ්ඩායම සඳහා ජයග්‍රාහී විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ සහ නිරෝෂන් දික්වැල්ල එක් නොවන අතර ඒ වෙනුවට පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්, ලහිරු කුමාර, සහන් ආරච්චිගේ සහ චාමික කරුණාරත්න නම් කර තිබෙනවා.

මෙරට පැවැති ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලියේ දී ආබාධිත බවට පත් පැතුම් නිස්සංක සුව වී නැවත පිටියට එක් වීමට ලැබීම කණ්ඩායමේ ප්‍රගතියට විශාල පිටුවහලක් ලෙසින් සැලකිය හැකියි. ඔහු සමඟින් නායක, කුසල් මෙන්ඩිස්, උප නායක චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ සහ සහන් ආරච්චිගේ පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක් කර තිබෙනවා.

ඒ අතුරින් මෙතෙක් කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් හිමි නොවූ කමිඳු මෙන්ඩිස්ට ඔහුගේ දක්ෂතා මුදා හැරීමට මෙම තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක් හිමි වෙනු ඇතැයි සිතිය හැකියි.

කණ්ඩායමට නම් කළ ක්‍රීඩකයන් අතුරින් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ නම් ඉදිරියෙන් කියැවෙන අතර වේග පන්දු යවන්නන් ලෙසින් ලහිරු කුමාර, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ශාන් මධුශංක සහ චාමික කරුණාරත්න එක් කර තිබෙනවා.  මහීෂ් තීක්ෂණ සහ අකිල ධනංජය නම් කර ඇත්තේ දඟ පන්දු යවන්නන්ගේ බලඇණියටයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: කුසල් මෙන්ඩිස් (නායක / කඩුලු රකින්නා), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්, ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න.

බංග්ලාදේශ කණ්ඩායම

බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වතාවක් හිමි ව ඇත්තේ ද විස්සයි විස්ස කණ්ඩායමේ ද නායකත්වයේ කටයුතු කළ Najmul Hossain Shanto වෙතයි. ඔහු මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් තරග 6ක දී නායකත්වයේ කබාය පැළඳ තිබෙනවා. ඉන් ඔහුට ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ ශ්‍රී ලංකා සංචාරයට පෙර නිමා වූ නවසීලන්ත තරගාවලියේ අවසන් තරගයේ දී ලත් ජයග්‍රහණයයි.

ඔහුගේ විශ්වාසවන්ත ම සගයා වන්නේ Mahmudullah. ඔහු මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 229කට ක්‍රීඩා කරමින් ශතක 4ක් සහ අර්ධ ශතක 28ක් සමඟින් ලකුණු 5348ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 82ක්.

ඔහුගේ අවසන් ඉනිම් 5 තුළ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 241ක් ලබා තිබෙනවා. එහි සාමාන්‍ය 48.2ක්. පන්දු යැවීමේ දී නම් ඔහු මෑත කාලීන ව සක්‍රීය ලෙසින් දායක වී නැති අතර ඔහු අවසන් වරට කඩුල්ලක් දවාගෙන ඇත්තේ 2022 වසරේ දීයි.

Mehidy Hasan Miraz ද බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 94කට ක්‍රීඩා කරමින් ලකුණු 1294ක් ලබා ඇති අතර දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 102ක්.

එක්දින විශේෂඥ පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙන Mushfiqur Rahim ද බංග්ලාදේශ කණ්ඩායමේ සුවිශේෂී හැඳින්වීමක් ලද ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 268කට ක්‍රීඩා කරමින් ලකුණු 7657ක් ලබා තිබෙනවා.

පන්දු යවන්නන් අතුරින් වඩාත් විශ්වාසවන්ත සගයා වන්නේ වමතින් දඟ පන්දු යවන Mustafizur Rahman. ඔහු එක්දින ජාත්‍යන්තර තරග 103කට මුහුණ දෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 162ක්.

ඔවුන් සමඟින් එක් වන එක්දින කණ්ඩායමට, විස්සයි විස්ස සංචිතයට එක් ව සිටි Mohammad Naim, Mahedi Hasan සහ Jaker Ali Anik මෙම සංචිතයට නම් කර නැහැ. ඒ වෙනුවට ඔවුන් විශ්වාසය තබා ඇත්තේ  තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mehidy Hasan Miraz, දකුණතින් වේග පන්දු යවන Tanzim Hasan Sakib සහ කඩුලු රකින ක්‍රීඩක Mushfiqur Rahim වෙතයි.

බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය: Najmul Hossain Shanto (නායක), Anamul Haque (කඩුලු රකින්නා), Litton Das (කඩුලු රකින්නා), Mohammad Mahmudullah, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Mushfiqur Rahim (කඩුලු රකින්නා), Rishad Hossain, Shoriful Islam, Soumya Sarkar, Taijul Islam, Tanzim Hasan, Tanzim Hasan Sakib, Taskin Ahmed, Tawhid Hridoy.

Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගණය

බංග්ලාදේශයේ දෙවැනි විශාලතම නගරය වන Chattogram හී පිහිටි මෙම ක්‍රීඩාංගණයේ එක්දින ජාත්‍යන්තර තරග ආරම්භය සිදු ව ඇත්තේ ද ශ්‍රී ලංකා සමඟිනුයි. ඒ 2006 වසරේ දී එරට කළ තරග සංචාරයේදීයි.

මහේල ජයවර්ධන ගේ නායකත්වයෙන් යුතුව එම මංගල තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මංගල ජයග්‍රාහකයන් බවට ද පත් වීමට සමත් වූවා. නමුත් එම තරගයෙන් අනතුරුව මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ දී තවත් තරග 27ක් පවත්වා ඇති අතර එම මංගල තරගය හැරෙන්නට ශ්‍රී ලංකාවට මේ ක්‍රීඩාංගණයේ නැවත ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

එම තරගවලින් තරග 17ක ජයග්‍රහණ බංග්ලාදේශය සතු වෙනවා. එබැවින් ම ඔවුන් මෙම ක්‍රීඩාංගණය ඔවුන්ට වඩාත් සුබදායි ක්‍රීඩාංගණයක් ලෙසින් ද හැඳින්වෙනවා.

එමෙන් ම පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩාංගණයක් ලෙසින් ද මෙම ක්‍රීඩාංගණය හැඳින්වෙනවා.

මෙම තරගාවලියේ දී ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම්

Anamul Haque: එක්දින ජාත්‍යන්තර තරග 50ක් වාර්තා කිරීමට තවත් ඇත්තේ තරග 2ක් පමණයි.

Soumya Sarkar: එක්දින ජාත්‍යන්තර ලකුණු 2000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 59ක් පමණයි.

Taskin Ahmed: එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක් වාර්තා කිරීමට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 5ක් පමණයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<