154 වැනි ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්මේ හිමිකරු – රමේෂ් මෙන්ඩිස්

1208

සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ආරම්භ වන අද (22) දිනය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට තවත් අලුත් ක්‍රීඩකයෙක් දායාද වන දවසක්. වසර 39ක ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 154 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වන්නට රමේෂ් තරින්ද මෙන්ඩිස්ට අද වරම් හිමිවෙනවා.

1995 ජූලි 7 වැනිදා උපන් රමේෂ් මෙන්ඩිස්ගේ උපන් ගම් පළාත වෙන්නේ අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයයි. එය පිහිනුම් ක්‍රීඩකයන්ගේ තෝතැන්නක්. පවුලේ වැඩිමහල් පුතු වන රමේෂ් හට තවත් සහෝදරයින් දෙදෙනෙක් සිටිනවා.

සහෝදරයින් දෙදෙනා සමඟ සිටින රමේෂ් (මැද)

රමේෂ්ගේ ගෙදර වැඩි ඉඩක් පිහිනුම් ක්‍රීඩාවට වෙන්වුනා. ඒකට ප්‍රබලතම හේතුව වුනේ රමේෂ්ගේ පියා වන ප්‍රසන්න මෙන්ඩිස්, SAG පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙක් වීමයි. ඔහු 1987 සහ 1989 වසරවල පැවති SAG තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දස්කම් දක්වා තිබෙනවා.

රමේෂ්ට, කුඩා කාලයේ ඉඳන්ම පිහිනුම් ක්‍රීඩකයෙක් වෙන්න අවශ්‍ය මාර්ගය හදාදෙන්න පුසන්න මහතා උපරිමයෙන් මහන්සි වුනා. ඔහු ඒ වෙද්දී ගමේ ජීවත් වන පිහිනුම් ක්‍රීඩාවට ළැදි දුවා දරුවන් වෙනුවෙන් මාදම්පා ගඟේ දී තම අත්දැකීම් බෙදා හදා දුන්නා. තම අඩි පාරේ යමින් රමේෂ් දිනෙන් දින පිහිනුම් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වද්දී තමන් මෙන්ම තම පුතු ද පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඔහු මනසින් දකින්නට ඇති.

රමේෂ් සිය පවුලේ සාමාජිකයින් සමඟ

නමුත් කාලයාගේ ඇවෑමත් සමඟ රමේෂ් පිහිනුම් ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු පියාගේ කාර්යබහුලත්වය නිසාවෙන් පිහිනුම් පුහුණු කටයුතුත් ටිකෙන් ටික රමේෂ්ගෙන් ඈත් වෙනවා. පසුව පිහිනුම් ක්‍රීඩාව පසෙකලා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩායම සමඟ රමේෂ් එකතු වෙනවා. නොබෝ දිනකින්ම දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙන රමේෂ් සමස්ත ලංකා මට්ටමට යන්න තරම් දක්ෂතා දක්වනවා.

පිහිනුම් ක්‍රීඩාවේ දී රමේෂ් අසල ඔහුගේ පියා සිටියා මෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දී රමේෂ් අසල සිටියේ ඔහුගේ මව වන දුල්මිණි කහඳවල මහත්මියයි. ඇය සමස්ත ලංකා පදක්කම්ලාභී මලල ක්‍රීඩා සහ දැල්පන්දු ක්‍රීඩිකාවක්. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් පැහැදිලි අනාගතයක් පෙන්නුම් කළත් රමේෂ් බැඩ්මින්ටන් ද එක් වරම අතහැර දමනවා.

තවත් විශේෂාංග ලිපි:

පිහිනුම් ක්‍රීඩාව සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආයුබෝවන් කියූ රමේෂ් මෙන්ඩිස්ගේ මීළඟ තේරීම වුනේ ක්‍රිකට් ක්‍රීඩාවයි. මේ සම්බන්ධයෙන් පියා නිහඬ පිළිවෙතක් අනුගමනය කළත්  මව නම් ඊට තදින්ම විරුද්ධ වී තිබෙනවා. කොහොම වුනත් රමේෂ් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න අවැසි බව තරයේම පවසා සිටිනවා.

මෙතැන දී රමේෂ්ගේ සිහිනය සැබෑ කරගන්න උදව්වට එන්නේ රමේෂ්ගේ බාප්පා වන විශ්‍රාමික මේජර් නිමල් මෙන්ඩිස්. ඔහු රමේෂ්ගේ වගකීම් බාරගනිමින් රමේෂ්ව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරනවා.

රමේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට මූලික අත්පොත් තබන්නේත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන්. ඒ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම නියෝජනය කරමින්. ඔහුගේ මුල්ම පාසල් පුහුණුකරු වුනේ සුරාජ් සංජීව මහතා. ඔහු යටතේ පුහුණුවීම් කරමින් රමේෂ් වසර 3ක් ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. 2008 වසරේ දී පාසලේ 13න් පහළ කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ ද රමේෂ්.

රමේෂ් ධර්මාශෝක විද්‍යාල පාසල් කණ්ඩායම නියෝජනය කරමින්

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ රමේෂ් 2008 වසරේ දී එම පාසලෙන් ඉවත්ව, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙත පියනගනවා. එම පාසලේ 15න් පහළ සිට 19න් පහළ කණ්ඩායම් දක්වා සෑම වයස් කාණ්ඩයකම නායකත්වය දරන්නේ ද රමේෂ්.

2012/13 තරග වාරයේ දී 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 98ක් සහ ලකුණු 500කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා රමේෂ් එම වසරේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් සහ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් පිදෙන අනුශූරතාවෙන් ද පිදුම් ලබනවා. එම වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නේ සාන්ත ජෝසප් විද්‍යාලයේ සධීර සමරවික්‍රමයි.

2012/13 පාසල් තරග වාරයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් සහ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාවෙන් පිදුම් ලැබූ රමේෂ්

අනතුරුව 2013/14 පාසල් තරග වාරයේ දී ධර්මාශෝක විද්‍යාලයීය 19න් පහළ කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ රමේෂ්ටයි. රමේෂ්ගේ එම වසරේ දක්ෂතාව වන්නේ තරග 8කට සහභාගී වෙමින් කඩුලු 60ක් සහ ලකුණු 800කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමයි. ඒ වසරේ නැවත වතාවක් දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන රමේෂ්, කුසල් මෙන්ඩිස්ට දෙවැනියා වෙමින් නොකඩවා දෙවැනි වරටත් දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනුශූරතාව දිනා ගන්නවා.

2013/14 පාසල් තරග වාරයේ දී දක්ෂතම පන්දු යවන්නා සම්මානය සහ නොකඩවා දෙවන වරටත් දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනුශූරතාව දිනා ගත් රමේෂ්

රමේෂ් ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් 2014 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලිය සහ එම වසරේ දී ම පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශයට එරෙහිව ද, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට එරෙහිව ද ක්‍රීඩා කිරීමට රමේෂ්ට අවස්ථාව ලැබෙනවා.

රමේෂ් බංග්ලාදේශයට එරෙහිව පැවති නැගී එන ක්‍රිකට් තරගාවලියේ දී නොදැවී ලකුණු 54*ක් සහ 97*ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ තමයි ඔහු විදෙස් රටකට එරෙහිව දැනට දක්වා තිබෙන හොඳම දක්ෂතාවය. පන්දු යැවීමේ දී එම තරගාවලිය තුල තරග 3ක දී කඩුලු 5ක් ලබා ගැනීමට ද රමේෂ් සමත් වෙනවා.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කළ රමේෂ්

වයස අවුරුදු 20 දී (2015 දී) එස්. එස්. සී. කණ්ඩායම සමඟ එකතු වෙමින් ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසෙන රමේෂ් පසුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයටත්, වර්තමානයේ මුවර්ස් ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කරනවා. ඊට අමතරව ඔහු පාසල් සමයේ දී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළා.

SSC කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ පිටියට පැමිණි රමේෂ්

එසේම 27 වැනි සිංගර් කුසලාන වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ පැවති තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පාත්‍රවන්නට ඩිමෝ කණ්ඩායම නියෝජනය කළ රමේෂ් සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 2020 Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් සහ මීගමුව ක්‍රිකට් සමාජ අතර පැවති තරගයක දී අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කළ රමේෂ් පන්දු 270කට මුහුණ දෙමින් (4 පහර 28ක් සහ 6 පහර 10ක් සමඟ) නොදැවී ලකුණු 300ක් ලබා ගන්නවා. මුවර්ස් ක්‍රීඩා පිටියේ දී දියත් කළ එම ඉනිම රමේෂ්ගේ ක්‍රිකට් දිවියේ දැනට ක්‍රීඩා කර තිබෙන හොඳම ඉනිමයි.

තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලාභීන් අතර 6 වැනි ස්ථානය දිනා ගන්නා රමේෂ් තරග 8ක දී ඉනිම් 13ක් සඳහා ක්‍රීඩා කරමින් මුළු ලකුණු 714ක් වාර්තා කරගන්නේ ත්‍රිත්ව ශතකයක්, ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකකට හිමිකම් කියමින්. එහි දී ඔහුගේ ලකුණු  සාමාන්‍ය 59.50ක් වැනි ඉහළ මට්ටමක පැවතුණා. ඊට අමතරව පන්දු යැවීමෙන් කඩුලු 23ක් ද දවා ගැනීමට රමේෂ් සමත් වුනා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Dambulla Viiking නියෝජනය කළ රමේෂ් දැක්වූ තුන් ඉරියව් දස්කම් දඹුල්ල කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 දක්වා ඒවට විශාල සවියක් වුනා. ඔහු 2020 LPL තරගාවලියේ තරග 7ක් සඳහා සහභාගී වෙමින් ඉනිම් 4ක දී ලකුණු 49ක් ලබා ගන්නා අතර පන්දු යැවීමේ දී ඉනිම් 6ක් තුල කඩුලු 6ක් දවා ගැනීමට ද සමත් වුනා.

2020 LPL තරගාවලියේ Dambulla Viiking වෙනුවෙන් ක්‍රීඩා කිරීමට රමේෂ් සමත් වුනා

රමේෂ්ගේ සමඟ අප කළ කතාබහේ දී පාසල් කාලයේ පුහුණුකරුවන් වූ සුරාජ් සංජීව, විරාජ් චමින්ද, පී. මිල්ටන් සහ ඉසුරු අනුෂ්ක යන මහත්වරුන්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම්, පළාත් සහ දිස්ත්‍රික් කණ්ඩායම් නියෝජනයේ දී ඔහුගේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු සෑම දෙනෙක්ට ද ඔහු ස්තුතිය පුද කළා. එමෙන්ම තමන්ගේ කළමනාකරු ලෙසින් කටයුතු කරන සීනිගම ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතාව ද අපගේ සංවාදය අතරතුර සිහිපත් කිරීමට රමේෂ් අමතක කළේ නැහැ.

රමේෂ්ගේ බාල සහෝදරයන් දෙදෙනා ද ක්‍රිකට් ක්‍රීඩකයන්. නිමේෂ් මෙන්ඩිස් මීට වසර දෙකකට පමණ ඉහත දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දැරුවා. අනෙක් සහෝදරයා වන මලිත්ත මෙන්ඩිස් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙක්.

රමේෂ්, අනාගතයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය උපරිම දස්කම් දක්වමින් ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් ගෙන ඒම වෙනුවෙන් උපරිම කැපවීමෙන් ක්‍රීඩා කරාවි යන බලාපොරොත්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 154 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබන රමේෂ් මෙන්ඩිස්ගේ ඉදිරි ක්‍රිකට් දිවියට ThePapare.com අපේ උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<