“අපි හොඳ සූදානමකින්” – නායිකා චමරි කියයි

ICC කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

269
Sri Lanka Team Departs for the ICC Women's T20 World Cup 2023

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාරී තත්ත්වයක පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි.

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත් වීම විශාල වාසියක් බව ඇය පෙන්වා දුන්නාය.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය හා නිල අනුග්‍රාහකත්වය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් තරු පහේ හෝටලයේ දී පිරිනැමූ මාධ්‍ය හමුවේ දී ඇය මේ බව පැවසූවාය.

“මට හොඳ කණ්ඩායමක් ලැබී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම්මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත් වීමයි. හැමෝම දන්න දෙයක් තමයි ඕනෑම වේලාවක විස්සයි විස්ස තරග රටාවේ දී තරගයක් එක් අයෙකුට හෝ වෙනස් කරන්න පුළුවන් බව. මගේ විශ්වාසය ක්‍රීඩිකාවන් අතර ශ්‍රේණිගත කිරීම් යම් අංකයක් විතරයි. දවසේ හොඳින්ම ක්‍රීඩා කරන ක්‍රීඩිකාව තමයි අංක එකේ මා සලකන්නේ. මා ඒ බව අපේ ක්‍රීඩිකාවන් සමග කතා කරනවා. ඔවුන්ට විශ්වාසය දෙනවා,“ චමරි පැවසූවාය.

“අප පසුගිය ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට හොඳ තරගයක් දුන්නා. මේ තරගාවලියේ දීත් එවැනි කණ්ඩායම්වලට හොඳ තර්ජනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ කාණ්ඩයේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම් සිටිනවා. ඒක ලේසි පහසු කාණ්ඩයක් නොවෙයි. හොඳ තරගකාරීත්වයක් තියෙන කාණ්ඩයක්. නමුත් දවසින් දවස උපරිම දක්ෂතා අතර සිට අපේ ක්‍රීඩිකාවන් හොඳින් ක්‍රීඩා කළොත් අපට පෙරළියක් කරන්න පුළුවන්. ඒ කණ්ඩායම් පරාජය කරන්න පුළුවන් කියා විශ්වාසයක් තියෙනවා,“ යැයි චමරි පැවසූවාය.

“ආසියානු කුසලානයේ අපි අනුශූරතාව දිනා ගත් පසු සතියක විවේකයක් ලැබුණා. බංග්ලාදේශ සංචාරය අවලංගු වුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් අපට හොඳ පළාත් තරගාවලියකට සහභාගී වෙන්න අවස්ථාව දුන්නා. එය ඕවර් 50 හා විස්සයි විස්ස තරගාවලි දෙකක්. එයින් අපේ ක්‍රීඩිකාවන් හොඳ පන්නරයක් ලබා ගත්තා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ වේගපන්දු වලට උචිත හා යම් ඉපිලීමක් ඇති තණතිලිවලට මුහුණ දෙන ආකාරය අප පුහුණු වුනා. අපි 17න් පහළ හා 15න් පහළ පිරිමි කණ්ඩායම් සමඟ පුහුණු තරග පැවැත්වූවා. ඒ අය පුහුණුවීම්වලට ගෙනත් පන්දුවට පහර දුන්නා. සති දෙකක් හම්බන්තොට දී විදුලි ආලෝක ධාරා මැද අප පුහුණු සැසි පැවැත්වූවා. මොකද අපට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග තුනක්ම විදුලි ආලෝක ධාරා මැද තරග කරන්න වෙලා තියෙන්නේ. මෑත කාලයේ අප ලබා ගත් හොඳ පෙර සූදානමක් මේක. එහි ප්‍රතිඵල බලන්න පුළුවන් ලෝක කුසලාන තරගාවලියේ දී,“ චමරි අතපත්තු පැවසූවාය.

තම පන්දු යවන්නියන් කෙරෙහි විශාල විශ්වාසයකින් පසුවන බව ද ඇය සඳහන් කළාය. “ඉනෝකා හා ඕෂධී අපේ දඟපන්දු බල ඇණිය ශක්තිමත් කරනවා. ආසියානු කුසලානයේ දී හොඳින් පන්දු යැවූ අචිනි සිටිනවා. විශේෂයෙන්ම හර්ෂිතා හා මාධවී පිළිබඳවත් සඳහන් කළ යුතුයි. ඒ දෙදෙනා හොඳ තැනක සිටිනවා. දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් සිටිනවා. පිතිකරණය ගත්තාම මාධවී, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී හා නිලක්ෂි ද සිල්වා ලකුණු අතර සිටින ක්‍රීඩිකාවන්. තවත් නම් වශයෙන් නොකියපු දක්ෂ ක්‍රීඩිකාවන් සිටිනවා,“ ඇය පැවසූවාය.

“චමරි හොඳට සෙල්ලම් කළේ නැත්නම් මැච් එක පරදිනවා. මෙවැනි මතයක් තිබෙනවා සමාජයේ. ඔබ කොහොමද මෙයට මුහුණ දෙන්නේ?,” මාධ්‍යවේදියෙකු ඇය වෙත ප්‍රශ්නයක් යොමු කළේය.

“ඔව් එහෙම මතයක් තියෙනවා. නමුත් මම එක් ක්‍රීඩිකාවක් විතරයි. ආසියානු කුසලානයේ දී මට ලකුණු අතරට එන්න බැරි වුනා. නමුත් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ආවා. මගේ ක්‍රීඩිකාවන් පිළිබඳව හොඳ විශ්වාසයක් තිබෙනවා. මා සුපුරුදු රිද්මයට ආවොත් කණ්ඩායමට ශක්තියක්. දකුණු අප්‍රිකා තණතිලිවල මා ගොඩක් ලකුණු ලබාගෙන තියෙන නිසා මේ තරගාවලියේ දී ලකුණු අතරට පැමිණීම බලාපොරොත්තුවයි. හොඳ පුහුණුවීමක් කළා. යම් යම් වැරදි හදා ගත්තා. ඒ නිසා හොඳ විශ්වාසයකින් ඉන්නවා,“ චමරි පැවසූවාය.

හසිනි පෙරේරා අවසන් මොහොතේ ආබාධයකට ලක් වුනා. ඒක අපට පාඩුවක්. ඇයට සති 4කින් පසුව පුහුණුවීම් ආරම්භ කරන ලෙස වෛද්‍යවරු දැනුම් දී තිබෙනවා. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියට එන්න හැකියාවක් නෑ. හසිනි වෙනුවට සත්‍යා සන්දීපනී කණ්ඩායමට එක් වුනා,“ චමරි පැවසුවාය.

කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසුවේ, නිමාවට පත්වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා අතර සිටි දෙව්මි විහංගි ක්‍රීඩිකාව දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් කර නොගත්තේ ඇයි ද යන්නයි.

එම පැනයට පිළිතුරු දුන් රුමේෂ් රත්නායක මහතා පැවසුවේ, ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය පසුගිය දෙසැම්බර් මාසයේ දී නම් කළ බවයි. “ICC ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ නම් දෙසැම්බර් මාසයේ දී ඉල්ලා සිටියා. මා දුටුවා දෙව්මි ක්‍රීඩිකාවගේ දක්ෂතා. ඇයට ඉදිරියේ දී දිනයක් ඒවි. හොඳ අවස්ථාවක් ඇයට උදා වේවි,“ රත්නායක මහතා පැවසීය.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 02 වැනිදා පස්වරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්වන අතර, පෙබරවාරි 6 වැනිදා අයර්ලන්තය සමඟින් සහ පෙබරවාරි 8 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන

  • පෙබරවාරි 10 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
  • පෙබරවාරි 12 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය
  • පෙබරවාරි 16 – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව
  • පෙබරවාරි 19 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<