රග්බි ක්‍රීඩාව යනු “දිගැටි පන්දුවකින් දෙපිලක් උරෙනුර ගැටෙන මහා සංග්‍රාමයක්” යැයි නොදන්නා උන් කියාවි. විටෙක “අරමුණක් නැති රුදුරු ගති ඇත්තවුන්ගේ කුළල් කා ගැනිල්ලක් දැක අත් පොලසන් දෙන්නා වූ යුධ පිටියක් “යැයි කියාවි.
නමුත් ඇත්තෙන්ම රග්බි ක්‍රීඩාව යනු සිතින් සේම ගතින් ශක්තිවන්තවුන්ගේ තෝතැන්නකි. හයේ හතරේ හැඩි දැඩි සුද්දන්ට හුරු පුරුදු මෙම ක්‍රීඩාව නම් ආසියානුවන්ට එතරම්ම රුස්සන්නේ නැත. එහෙව් සුද්දන්ට වින කරන්නට ඉපදුණු කොස් පොලොස් කා හැදුණු ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයින් පවා අද වන විට මුළුමහත් ආසියාවටම හිසරදයක් වී හමාරය.
කොළඹ, නුවර පාසල් රාමුව තුල රග්බි ක්‍රීඩාව ප්‍රචලිතව තිබුණ ද එහි සැබෑ ආධිපත්‍ය කන්ද උඩරටට රැගෙන යන්නට උඩරට පාසල් දැවැන්ත මෙහෙයුමක නිරත වන්නේය. ඒ අතරින් සියල්ලගේ නෙත ගැටුණු පාසලක් විය.
නීල වර්ණ කොටි හපුවෙකුගේ රුවකින් සැරසුණු ඔවුන් ප්‍රේක්ෂකාගාර ඔල්වරසනින් ගිඟුම් දෙන්නට සමත් විය. ඒ අන් පාසලක් නොව මෙවර තරග වාරය පුරාවට පෙරළිකාර දස්කම් දක්වන්නට සමත් වූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය කණ්ඩායමයි.
පාසල් ක්‍රීඩා පිටියේ දී මහනුවර පුරවරය සාමාන්‍යයෙන් ඉමහත් කීර්තියක් උසුලන්නේ රග්බි ක්‍රීඩාවට යන්න සෑම අයෙකුම දන්නා කරුණකි. ඒ නිසාම මහනුවර රග්බි ක්‍රීඩකයෙකු ගැන වචනයක් දෙකක් දැන ගන්නා විටම ඔහුගේ පාසල සම්බන්ධයෙන් විමසීමට මුව අයන්නේ නිරායාසයෙනි. පසුගිය වසර කිහිපයේ දී ම අප සන්නිවේදන රාමුවෙන් විද්‍යාර්ථ විද්‍යාලය තරමක් එපිටට විසිවෙන්නේ මේ වන විට දී B කාණ්ඩය නියෝජනය කරමින් ඔවුන් පාසල් තරගාවලිය සඳහා සහභාගී වන නිසායි.
2012 වසරේ දී A කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම් සියල්ලටම අභියෝගයක් වෙමින් සමස්ත තරගාවලියේ මුල් පුටු 5 අතර තම අසුන ද රඳවා ගත් විද්‍යාර්ථයින්, එම වසරේ කුමේන්ද්‍ර ධර්මදාසගේ නායකත්වයෙන් ශූරතාවය දිනා ගත් ඉසිපතන කණ්ඩායම සමඟ තරගය ද සමව අවසන් කළේය. වර්තමාන ශ්‍රී ලංකා රග්බි සංචිතයේ “වේගවත් සුළඟ” ලෙස විරුදාවලි ලත් කවිඳු පෙරේරාත්, ජේසන් දිසානායකත් මෙම ස්වර්ණමය 2012 කණ්ඩායමේ සාමාජිකයින් වීම විශේෂත්වයකි.
මේ සියල්ල සිදුවුණු අවධියේ දී අනපේක්ෂිත ලෙස විද්‍යාර්ථය C කාණ්ඩයට ඇද වැටුණේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි අයුරිනි. ඉන්පසු අඩියෙන් අඩිය විද්‍යාර්ථ පළමුපෙළ ක්‍රීඩා පිටිය අතික්‍රමණය කරන්න සමත් වූයේ තවමත් විද්‍යාර්ථය අවදියෙන් යන්න සියල්ලන්ටම පසක් කරමිනි. ඒ නිසාවෙන් 2018 තරගවාරයේ දී ඔවුන් “දිගු පිම්මක් පැන්නා” යැයි කියතොත් නිවැරදිය.
ඔවුහු තරගාවලියේ B කාණ්ඩයේ පළමු වටයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට හැර අනෙක් සියලු පාසල්වලට එදිරිව ජයග්‍රහණ වාර්තා කළහ. ඉන්පසු දෙවන වටයේ දී, A කාණ්ඩයේ සිටි ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජයට පත් කළේය. මෙකී හපන්කම් නිසාවෙන් විද්‍යාර්ථ කණ්ඩායමේ දස්කම් ගැන රග්බි විචාරකයින් විවිධ මත පළ කරන්නට විය.
ලීග් ප්‍රතිඵල
විද්‍යාර්ථ 57 – 20 ලුම්බිණි
විද්‍යාර්ථ 22 – 26 මලියදේව
විද්‍යාර්ථ 26 – 29 ධර්මරාජ
විද්‍යාර්ථ 22 – 17 ඩී. එස්. සේනානායක
ගල්කිස්ස විද්‍යා 43 – 29 විද්‍යාර්ථ
සා. බෙනඩික් 14 – 45 විද්‍යාර්ථ
සා. සිල්වෙස්තර 15 – 60 විද්‍යාර්ථ
විද්‍යාර්ථ 87 – 00 පිළියන්දල
ආනන්ද 33 – 52 විද්‍යාර්ථ
ඉන් සති දෙක තුනක් ගෙවෙද්දීම වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික අන්තර් පාසල් ශූරතා තරගාවලිය පැවැත්විය. සියලු දෙනා අපේක්ෂාවෙන් සිටි පරිදි මහනුවර සියලු නියෝජන අභිබවමින් කුසලාන අවසන් පූර්ව තරගයට විද්‍යාර්ථයින් සුදුසුකම් ලැබීය. ප්‍රබල ලීග් ශූර රාජකීය විද්‍යාලය දැඩි පීඩනයකට අසු කර ගනිමින් තරගය අවසන් වනතුරුම තම නිජබිමේ දී ම රාජකීයයන් අසරණ කරන්නට වූ සමත් වූ විද්‍යාර්ථයින් අවාසනාවන්ත ලෙස මෙම තරගය පරාජය වූයේ ලකුණු 8කිනි.
ඉන්පසු පලඟ ශූරතාවය වෙනුවෙන් සටන් වදින්නට විද්‍යාර්ථ විද්‍යාලයට අවස්ථාව ලැබුණු අතර අවසන් පූර්ව වටයේ දී වේල්ස් කුමර විද්‍යාලය දැවැන්ත ලකුණු පරතරයකින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් විද්‍යාර්ථයින්ට අවසන් සංග්‍රාමයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් මුණ ගැසුණි.
සාන්ත තෝමස් විද්‍යාලය | 19 | 14 | විද්‍යා විද්‍යාලය |
විද්‍යාර්ථ විද්‍යාලය | 45 | 05 | වේල්ස් කුමර විද්‍යාලය |
ගියවර අන්තර් පාසල් සත් සාමාජික ශූරතාවය දිනූ සාන්ත තෝමස් විද්‍යාලය වෙත කාගේත් අවධානය යොමු වුව ද, පෙරළිකාර විද්‍යාර්ථය පලඟ ශූරතාවය මහනුවරට විනා ගල්කිස්සට නම් රැගෙන යන්නට ඉඩ තැබුවේ නැත. විද්‍යාර්ථ ක්‍රීඩකයන් පිටිය පුරා තම අණසක පැතිර වූයේ තෝමසුවන්ට එක් ලකුණක් හෝ ලබා ගන්නට සියුම් අවකාශයක් හෝ නොතබමිනි.
සාන්ත තෝමස් විද්‍යාලය | 00 | 28 | විද්‍යාර්ථ විද්‍යාලය |
ඒ අනුව ඔවුහු පලඟ ශූරතාවය මහනුවර රඳවා ගන්නට සමත් විය. නමුත් කතාව එය නොවේ. කතාව නම් ලීගය දිනන්නට ඔවුන් ආ ගමන් මගයි. 2012 වසරෙන් පසු නැවතත් විද්‍යාර්ථය සීමා පවුරු බිඳ ඉදිරියට එනු පෙනෙන්නට විය.
තවත් සතියක් ගතවුණු තැන වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික තරගාවලිය.
නම් දැරූ රග්බි ප්‍රබලයෝ ඉමක් කොනක් නොමැතිව ජයග්‍රහණය වෙනුවෙන් තම පාසලේ නම විශ්වාසයෙන් කොඳුරන්නට විය. ඒ ලබන වසරේ පාසල් රග්බි පිටියේ විස්කම් දක්වන සියලු පාසල්වල පළමුපෙළ නිර්මාණය වන්නේ මේ කියන්නා වූ 18න් පහළ වයස් කාණ්ඩයෙන් වන නිසාවෙනි.
දින දෙකක තරගාවලියේ අවසන් අදියරට එළඹෙත්ම කුසලාන අවසන් පූර්ව තරග පිටියේ ආරම්භ විය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලැබුණේ විද්‍යාර්ථයි. ප්‍රේක්ෂකාගාරයේ නරඹන්නන් හිස්ලූ ලු අතට හිස හරවමින් නැරඹී මේ උද්වේගකර තරගය විද්‍යාර්ථයින් විසින් ජය ගත්තේ ප්‍රබල ත්‍රිත්ව විද්‍යාලයට 2018 වසරේ අමිහිරි මතක ගොන්නක්ම එක් කරමිනි. පෙරළිකාර විද්‍යාර්ථය අවසන් මහා තරගයට පිවිස හමාරය. අවසන් ප්‍රතිවාදියා සාන්ත පීතර විද්‍යාලයයි.
ත්‍රිත්ව විද්‍යාලය | 14 | 19 | විද්‍යාර්ථ විද්‍යාලය |
සාන්ත පීතර විද්‍යාලය | 12 | 07 | විද්‍යා විද්‍යාලය |
කලකට පසු පෙත්තෙන්, දෙපෙත්තෙන් ඉහළට යන විද්‍යාර්ථයන් දැක මොනවාදෝ සිතට දැනෙන්නට වූයේ තරගයේ පළමු අර්ධයම විද්‍යාර්ථය ඉදිර්යෙන් සිටි නිසාමය. නමුත් ප්‍රබල සාන්ත පීතර ක්‍රීඩකයෝ අවසානයේ දී විද්‍යාර්ථය වෙනුවෙන් අනුශූරතාවය ඉතිරි කළහ.
සාන්ත පීතර විද්‍යාලය 26 – 21 විද්‍යාර්ථ විද්‍යාලය
කතාව තවම අවසන් නැත. ආරම්භ වූවා පමණි. ලකුණු 5කට මෙපිට නැවතුණු බලාපොරොත්තුව අනාගත පැතුම් ගොන්නකටම උපත දී හමාරය. ඒ සියල්ල එසේ වෙද්දී විද්‍යාර්ථයේ මග පෙන්වන්නාගෙන් වචනයක් ගත යුතුමය. වසර ගණනකට පසු විද්‍යාර්ථය ජය මාවතකට ගෙන ආ නියමුවාණන් වූ සුමේධ මාලවන මහතා ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ ඉමහත් සතුටකිනි.
“පුදුම සතුටක් දැනෙන්නේ මට, කොල්ලෝ ටික බලාපොරොත්තු වුනාටත් වඩා හොඳ මට්ටමකින් හොඳට සෙල්ලම් කළා. අවසන් තරගයේත් පළමු අර්ධයේ ඉදිරියෙන් හිටියා, පුංචි පුංචි මග හැරීම් ටිකක් වුනේ, ලබන අවුරුද්දට ගොඩක් සැලසුම් තියනවා, මුලින්ම A කාණ්ඩයට එන්න තමා බලාපොරොත්තුව.”
අවසන් වශයෙන් නැවත කියන්නට වචනයක් ඇත. මෙය හුදෙක් අවසානයක් නොවේ, ආරම්භයක් ම පමණි. ඒ නිසාම ලබන වසරේ අගනුවර පාසල් කාර්යබහුල විය යුතුමයි. කන්ද උඩරට “විද්‍යාර්ථ රැල්ල”
පෙනෙන මානයෙනි. ඒ නිසාම පාසල් රග්බි පිටියේ දැවැන්තයන් වෙනුවෙන් පණිවිඩයක් තිබේ.
“සීරුවෙන් සිටින්න විද්‍යාර්ථ රැල්ල ඉදිරියෙන්!”.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<