ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායකත්වය ගයනි දිසානායකට

437
Sri Lanka Netball captain Gayani Dissanayake

ජූලි 31 වැනිදා තායිලන්තයේ බැංකොක් හීදී ආරම්භ වීමට නියමිත ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ගයනි දිසානායක නම් කර ඇත. එහි උප නායිකාව ලෙස නම් කර ඇත්තේ දර්ශිකා අබේවික්‍රමයි.

ගයනි සහ දර්ශිකා මීට පෙර අවස්ථා ගණනාවකම ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම නියෝජනය කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වීම කණ්ඩායමට අමතර වාසියක් වේ. මීට මාස කිහිපයකට පෙර ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද ගයනි දිසානායකයි.

මේ අතර හිටපු නායිකාව මෙන්ම වත්මන් කණ්ඩායමේ පුහුණුකාරිනී දීප්ති අල්විස් මහත්මියගේ දියණිය වන සේමිණී අල්විස් නායකත්වයෙන් මෙන්ම මුලික කණ්ඩායමෙන් ද ඉවත් කර අතිරේක ක්‍රීඩිකාවක් (standby player) ලෙස නම්කර තිබීම විශේෂත්වයක්.

තායිලන්තයේ බැංකොක් නුවර මේ මස 31 සිට අගෝස්තු 7 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව තවත් ආසියානු දැල් පන්දු ප්‍රබලයන් 9 ක් එකවනවා. ඔවුන් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ තරග වදිනු ඇත.

හිටපු ශූරියන් සහ ආසියානු දැල් පන්දු ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන සිංගප්පූරුව A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට හොංකොං, චීන තායිපේ, සත්කාරක තායිලන්තය සහ මාලදිවයින් කණ්ඩායමද ඇතුලත්.

B කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වටයේ ප්‍රතිවාදීන් වන්නේ මැලේසියාව, බෘනායි,ජපානය සහ ඇෆ්ගනිස්තානයයි. ශ්‍රී ලංකාවේ පළමු තරගය අගෝස්තු 01 වැනිදා ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙයි. පළමු වටයේ ප්‍රභලතම ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකාව සහ මැලේසියාව තරග වදින්නේ අගෝස්තු 03 වැනිදායි. 

ආසියානු ශූරතාවට ශ්‍රී ලංකා විනිසුරුවරියන් නැහැ?

ආසියානු දැල් පන්දු සංගමය මෙවර ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් විනිසුරුවරියන් තෝරාගෙන නොමැති බවට වාර්තා වෙනවා.

ThePapare.com වෙත ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය මේ තරගාවලියේ විනිසුරුවන් ලෙස කාන්තාවන් 5 දෙනෙක් සහ පිරිමි විනිසුරුවන් දෙදෙනෙක් නම්කර යවා තිබෙනවා. නමුත් සිංගප්පූරුවේ දී පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් විනිසුරුවරියන් 5 දෙනාම අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ. ඊට ඉදිරිපත් වූ විනිසුරුවරුන් වන දීප්ත සෙනරත් බණ්ඩාර සහ බුද්ධික සූරියබණ්ඩාර යන දෙදෙනාම යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇතත්, ඔවුන් දෙදෙනා තරගාවලිය විනිශ්චය කිරීම සඳහා යොදා ගන්නවාද? නැද්ද? යන්න තවමත් නිශ්චිත වශයෙන් දැනගන්නට ලැබී නැහැ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට