SAFF තරගාවලි ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකාවට බලාපොරොත්තු

SAFF Championships 2024

150

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය (SAFF) විසින් 2024 වසර වෙනුවෙන් සංවිධානය කරනු ලබන තරගාවලි ත්‍රිත්වයක් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර තිබෙනවා.

එළඹෙන අගෝස්තු මස 16 සිට 28 වැනි දා දක්වා නේපාලයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 20න් පහළ තරගාවලියේ දී A සහ B කාණ්ඩ යටතේ තරගාවලිය ආරම්භ කිරීමට නියමිත අතර, මෙහි දී A කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිත අතර නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්තානය ද මෙම තරගාවලියේ දී A කාණ්ඩය නියෝජනය කිරීමට නියමිතයි. මේ අතර තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දියාව, මාලදිවයින සහ භූතානය තරග වදිනු ඇති.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 18 සිට 28 දක්වා භූතානයේ දී වයස අවුරුදු 17න් පහළ පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එහි දී භූතානය, නේපාලය සහ පාකිස්තානය සමඟින් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී තිබෙනවා. එමෙන්ම මෙම තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට පිවිසීමට ඉන්දියාව, මාලදිවයින සහ බංග්ලාදේශය සූදානමින් සිටිනවා.

මේ අතර 2024 SAFF කාන්තා පාපන්දු ශූරතාව එළඹෙන ඔක්තෝබර් මස 17 සිට 30 දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව B කාණ්ඩය නියෝජනය කිරීමට නියමිත අතර, ඊට අමතරව නේපාලය, මාලදිවයින සහ භූතානය මෙහි දී B කාණ්ඩය නියෝජනය කරනු ඇති. එමෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කිරීමට නියමිතයි.

මෙම තරගාවලි සියල්ලේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<