ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ පූජානි ප්‍රසාදිකා ලියනගේ මෙනවිය හදිසියේ අභාවප්‍රාප්ත වූවාය. වෘත්තීය ක්‍රිකට් ලකුණු සටහන්කාරිනියක් වූ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ ද දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවකි. මේ ඒ ගැන ThePapare.com තබන සටහනකි.
අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් අකුරු කළ පූජානි, පාසලේ දී ක්‍රිකට් ක්‍රීඩා කළා නම්, ඒ සැහැල්ලු පන්දු ක්‍රිකට් ය. එහි දී කලාප, දිස්ත්‍රික් සේ ම අන්තර් පළාත් තරගවල දී පූජානි දක්ෂතා දැක්වූවාය. මේ දක්ෂතා ඇය ජාතික ක්‍රිකට් පිටියට කැඳවීමට හේතු වූ බැව් පැවසුවේ පූජානිගේ පළමු ක්‍රිකට් පුහුණුකාරිණිය වූ පත්මා කරුණාරත්න ය.
“පූජානි ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූවේ පුදුම ළැදිකමක්. පාසල් කාලයේම තමයි පූජානි මං ළඟට එන්නේ. එතකොට පුංචි කෙල්ලෙක්. පූජානි ඒ කාලේ ග්‍රවුන්ඩ් එකට බහින කොට අනිත් අයත් අප් කරගෙන තමයි බහින්නේ. ග්‍රවුන්ඩ් එකේ කොතැන හිටියත් පූජානිගේ කටහඬ අපිට නිතරම ඇහුණා. ඇය හොඳ සටන්කාමී ක්‍රීඩිකාවක්” පත්මා කරුණාරත්න පැවසුවාය.
පූජානි, ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ අනුරාධපුර ශක්ති ක්‍රීඩා සමාජයෙනි. 2001 වසරේ සිට 2006 වසර දක්වාම ඇය ශක්ති ක්‍රීඩා සමාජයට තම දක්ෂතා මුදා හැරියා ය. ආරම්භක අවධියේ දී වේගපන්දු යවන්නියක් සේ කටයුතු කළ පූජානි, ශක්ති ක්‍රීඩා සමාජයේ නායකත්වය උසුලන 2004/05 ක්‍රිකට් සමයේ දි පුහුණුකාරිණි පත්මා කරුණාරත්නගේ මග පෙන්වීම යටතේ දඟපන්දු යැවීම ආරම්භ කළා ය. පූජානි ක්‍රිකට් පිටියේ කතා බහ කරන චරිතයක් වෙන්නේ එතැන් සිටි ය.
දකුණත් පා දඟපන්දු යවන්නියක් සේ ඇය පෙළහර පාද්දී, අගනුවර බොහෝ ක්‍රීඩා සමාජ ඇයගේ දක්ෂතා හේතුවෙන්ම පසු බැස්සා ය. මේ නිසා ඇයට අගනුවරට ක්‍රීඩා කරන ලෙස කෙරුණ ඉල්ලීම් ගණනාවක් ද පැමිණියා. නමුත් රජරටින් ගොස් අගනුවර ක්‍රීඩා කිරීමට පූජානි කැමති වූයේ නැත.
ඉතා අඩු පහසුකම් යටතේ ගෙන ගිය රජරට ක්‍රිකට් ක්‍රීඩාව අගනුවරින් කලඑළි බැසීමට මේ දිනවල සැලසුම් කෙරුණා. ඒ ශක්ති ක්‍රීඩා සමාජයේ සෑම කෙනෙක්ටම අගනුවර සී. සී. සී. කණ්ඩායම හා එක්වෙන ලෙසයි. පත්මා කරුණාරත්න ඇතුළු ශක්ති ක්‍රීඩා සමාජයේ සියල්ලෝම 2007/08 තරග කාලය වෙනුවෙන් සී. සී. සී. කණ්ඩායමට එක් වෙද්දී, පූජානි ද ඒ අතර වූවා ය. ඒ වසරේම ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ පළමු පෙළ සහ දෙවැනි පෙළ තරගාවලිවලට ක්‍රීඩා කරන අතර එහි දී එම කණ්ඩයම් දෙකම ජයග්‍රාහී කණ්ඩායම් බවට පත් වෙන්නේ ය. එම කණ්ඩායම් අතුරින් දෙවැනි පෙළ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ පූජානි ය.
ඊට වසර දෙකකට පසුව ඇය කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම හා එක් වූ අතර මිය යන තෙක්ම නියෝජනය කළේ එම ක්‍රීඩා සමාජය යි. 2015/16 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වූයේ ද ඇය යි. එම තරගාවලියේ එම වසරේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා තම කණ්ඩායම රැගෙන ඒමට ඇය සමත් වූවා ය.
කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අවදියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ද ක්‍රීඩිකාවක් ලෙසින් සිටි පූජානි අවසන් වරට පැවති ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකාවක ද වූවා ය.
තවත් විශේෂාංග ලිපි:
- “මට ලකුණු ලබාගන්න ලොකු ලෝබකමක් තිබුණා” – මාවන් අතපත්තු
- පිටිය මැද අප්‍රකට කඩිසරයා – චාමර සිල්වා
- සනත් ජයසූරිය – ඒ නම විතරක් ඇති!
- ක්‍රිකට් ආධිපත්‍ය දැරූවන් අහක බලා ගත් “සිලෝන් කණ්ඩායම”
- බ්‍රැඩ්මන්ට දෙවැනි වූ වෝල්ටර්ගේ තැන ගත් ජයසූරිය
2016 වසරේ දී මෙරට පැවති ඕස්ට්‍රේලියා A, එංගලන්ත ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංවර්ධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වූ තුන්කොන් තරගාවලියේ දී පූජානි, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා ය. එම තරගාවලියේ තරග තුනකට ක්‍රීඩා කරන පූජානි ලකුණු 100කට කඩුලු 4ක් දවා ගත්තා ය. එහි දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 40කට ලබා ගත් කඩුලු 2 ඇයගේ හොඳම පන්දු යැවීම විය.
එතැන් සිට දිගින් දිගටම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ඉහළ තැනක් හිමිකරගත් පූජානි, එකි කණ්ඩායමේ සිටි එකම දකුණත් පා දඟපන්දු යවන්නිය ද වූවා ය. ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට අවස්ථා කිහිපයක දී ම සුදුසුකම් සපුරා සිටියත්, පූජානිට එම අවස්ථාවන් අහිමිව ගියේ කිසිදු හේතුවක් නොදක්වමිනි.
“පූජානි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වෙයි කියන බලාපොරොත්තුවෙන් සිටියා. ඇත්තටම පූජානි ඒ වෙනුවෙන්, ඒ වෙද්දී බලාපොරොත්තු තබා ගත හැකි දක්ෂතා දැක්වුවා. නමුත් පූජානිට ඒ කිසිදු අවස්ථාවක, කණ්ඩායමට එක්වීමේ අවස්ථාවන් ලැබුණේ නැහැ. ඇය ඒ ගැන ඉතා කනස්සල්ලෙන් හිටියේ. ඇයි මිස් මෙහෙම වෙන්නේ. පූජා මගෙන් අනන්තවත් අහල තිබුණා. නමුත් අපිටත් ඊට පිළිතුරක් තිබුණේ නැහැ. පූජා ක්‍රිකට් නතර කරන්නත් හැදුවා. බොහොම අමාරුවෙන් තමයි ඊටත් අවුරුදු ගාණක් යන තුරු පූජා ක්‍රිකට් පිටියේ ක්‍රීඩිකාවක් ලෙස තියා ගත්තේ…” පත්මා කරුණාරත්න පූජානි ගැන නැවත සිහිපත් කළා ය.
පූජානිගේ දක්ෂතා, ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට පමණක් හා තරග කිහිපයකට පමණක් සහභාගී වීමෙන් නතර විය.
“පූජානි දක්ෂ පිට දඟපන්දු යවන්නියක්. ඇයට පන්දු යැවීම ගැන, ක්‍රීඩා පිටිය මෙහෙය වීම ගැන හොඳ දැනුමක් තිබුණා. එක් එක් ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා හොඳින් ප්‍රගුණ කරමින් තමයි පූජා පන්දු යැව්වේ. ඒ වගේම පූජා හොඳ තරග නරඹන්නියක් ද වුනා. අදටත් ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ පා දඟපන්දු යවන්නියක් නැහැ. ඒ අඩුව පූජාගෙන් පුරවන්න හොඳටම අවස්ථාව තිබුණා. නමුත් මොකක්දෝ හේතුවක් නිසා පූජාට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. පූජා ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ එයාගේ දක්ෂතා අනුව කණ්ඩායමේ තැනක් ලැබේවි කියලා. ඇයට ඉෂ්ට කර ගන්න බැරි වුන එකම බලාපොරොත්තුව ඒක…” පූජානි අවසන් වරට ක්‍රීඩා කළ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිණි රන්දිකා ගල්හේනගේ පැවසුවා ය.
කණ්ඩායමේ තැනක් නොලැබුණ ද ඊට ගතු කියා යෑමේ පුරුද්දක් පූජානි සතු වූයේ නැත. ඇය තමන්ට අවස්ථාවක් නොලැබුණ ද ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළා ය. ක්‍රිකට් ඇයගේ ආගම, ජීවිතය කර ගත්තා ය. කාන්තා ක්‍රිකට් තරගයක් වේ නම්, පූජානි එතැන නොසිටී අවස්ථාවක් වුණි නම් ඒ ඉතා කලාතුරකිනි.
කණ්ඩායමේ තැනක් නොලැබුණි නම් ඇය බොහෝ විට ගත කළේ ලකුණු සටහන් කුටියේ ය. ඒ තරගය මනා ලෙස දර්ශනය වීමත් සහ එහි තොරතුරුත් පූජානි සතු කර ගැනීමේ බලවත් වූ ආසාවට ය. ඇය ඒ තරමටම ඊට ලොල් වූවා ය. ක්‍රීඩිකාවක්, ලකුණු සටහන්කාරිනියක් ලෙසින් නොවූවත්, ඇය තරග නරඹන්නියක් ලෙසින් හෝ ක්‍රිකට් පිටියේ රැඳී සිටියා ය.
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙසින් ඉදිරියට යෑමට තිබූ ඉඩකඩ අවහිර වෙන විට පූජානි, ලකුණු සටහන්කාරිනියක් ලෙසින් ද කරළියට එක් වූවා ය. ඒ අනුව පූජානි, 2010 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නිල ලකුණු සටහන්කාරිනියක් ලෙසින් අභිෂේක ලැබුවා ය. ඉන් ටික කාලයක ඇවෑමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලකුණු සටහන්කරුවන්ගේ සංචිතයේ සාමාජිකාවක් වීමට ද ඇය සුදුසුකම් ලැබූ අතර මිය යන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිහිපයකට ම ලකුණු සටහන්කාරිනියක් ලෙසින් ද දායක වී සිටියා ය.
පූජානි, ක්‍රිකට් ලකුණු සටහන් කිරීමේ කෙතරම් නිපුණතාවක් දැක්වූයේ ද යත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට වසර 15ක් පිරීම නිමිත්තෙන් 2016 වසරේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයේ දී වසරේ දක්ෂතම කාන්තා ක්‍රිකට් ලකුණු සටහන්කාරිය ලෙසින් සම්මාන දිනා ගත්තා ය.
අසාධාරණය නොඉවසූ, සෘජු තීරණයන් හා දැඩිව බැඳී සිටි පූජානි, කා අතරත් ජනප්‍රිය චරිතයක් වූවා ය. තමන්ටත් වඩා අනුන් ගැන කතා කළ පූජානි, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පරාර්ථකාමී චරිතයකින් හෙබි වූවන් අතර ඉහළින්ම රැඳී සිටියා ය.
ක්‍රීඩකයන්ගේ, පුහුණුකරුවන්ගේ, ක්‍රිකට් විනිසුරුවන්ගේ, තරග තීරකවරුන්ගේ, සහෝදර ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ පමණක් නොව ක්‍රීඩාංගණ සේවකයන්ගේ ද ආදරය දිනා ගත් පූජානි, 33 හැවිරිදි වියේ දී තම ක්‍රිකට් සිහිනය ද තුරුල්කරගෙන අවාසනාවන්ත ලෙස මිය යෑම ක්ෂේත්රයට බලවත් පාඩුවකි. එමෙන්ම ළැබැඳි මිතුරියක් අහිමි වීමකි. ඇයගේ අඩුව පුරවන්නට තවත් කාලයක් බලා සිටීමට සිදු වෙනු ඇත. එහෙත් ඒ හිඩැස ඒ අයුරින්ම පිරවිය හැකි දැයි අවිශ්වාසය.
තමන්ගේ උපන් ගම වන අනුරාධපුරය බලා යතුරු පැදියෙන් යන ගමනේ දී කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ දී පසුගිය සඳුදා (15) සිදු වූ රිය අනතුරකිනි මිය ගිය පූජානිගේ නිසල දේහය අනුරාධපුර, මහාපාලාඩිකුලම, අංක 54 නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු 2020 ජුනි මස 18 වැනි බ්‍රහස්පතින්දා සවස 4.00ට මහාපාලාඩිකුලම පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.
ක්‍රිකට් සිහිනයත් තුරුල්කර ගෙන අකාලයේ මියගිය පූජානි ප්‍රසාදිකා ලියනගේ වෙත ThePapare.com අපගේ ද සාතිශය සංවේගය ප්‍රකාශ කරමු.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<