පළමු පෙළ වේගවත්ම ශතකයේ හිමිකරු “සඳුන්”

11046

මෙරට ක්‍රිකට් වංශ කතාවේ පළමු පෙළ වේගවත්ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගෙන සිටින්නේ සඳුන් වීරක්කොඩි. වමත් ආරම්භක පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙක් ද වන 26 හැවිරිදි සඳුන් සමඟ ThePapare.com කළ කතා බහක් මේ.   

සඳුන්ගේ ක්‍රිකට් ආරම්භ වෙන්නේ මහනුවර, අම්පිටිය මහා විද්‍යාලයෙන්. ඒ දවස්වල වයස අවුරුදු 12න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරන්න සඳුන් එන්නේ අම්මගෙත්, තාත්තගෙත් කැමැත්ත තමන් වෙත නම්ම ගෙන. බොහෝ දෙමව්පියන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය වෙනුවෙන් තම දරුවන් පෞද්ගලික පංති කරා රැගෙන යද්දී, සඳුන්ගේ දෙමාපියන් කළේ සඳුන් ක්‍රිකට් වෙනුවෙන් යොමු කිරීම. 

“පුංචිම දවස්වල ඉඳල මට ක්‍රිකට් ගහන්න ගෙදරින් පූර්ණ නිදහස ලැබුණා. පංතියක් කට් කරත් ක්‍රිකට් පුහුණුවීම් කවදාවත් කට් කළේ නැහැ. ඒ තරමටම ක්‍රිකට්වලට ගෙදරින් කැමැත්ත ලැබුණා“ සඳුන් අතීතය සිහිපත් කළා. 

අම්පිටිය විද්‍යාලයේ වයස අවුරුදු 12න් පහළ ක්‍රීඩා කරද්දී, සඳුන්ට මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවෙනවා. එය සඳුන්ගේ දක්ෂතාවලට ලැබුණ මහඟු අවස්ථාවක්. මේ හුරුබුහුටි පිතිකරුවා ගැන කන්ද උඩරට බොහෝ දෙනෙක් දැන ගන්නේ එම තරගාවලියත් සමඟ.

එහි ප්‍රතිඵලයක් ලෙසින් සඳුන්ට අම්පිටියෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයට පිවිසීමට අවස්ථාව ලැබෙනවා. ඒ වෙද්දී සඳුන්ගේ පොත් පත් අතර පවා තිබුණේ ක්‍රිකට් සිහිවටන. පොතක පිට කවරයක ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ පිංතූරයක් අලවන එකත් සඳුන්ට ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියන හැඟීමක් ගෙන එන තරමටම සමීප වෙලා තිබුණේ. 

ධර්මරාජ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට එක් වෙමින් සඳුන් වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩ ත්‍රිත්වයේම දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය කිරීමට ද සමත් වෙනවා. වරෙක ප්‍රීමා ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ කෝල්ට්ස් පිටියේ දී ශතකයක් වාර්තා කිරීමට ද සඳුන් සමත් වෙනවා. එය සඳුන්ගේ ක්‍රිකට් දිවියේ මංගල ශතකයයි. සඳුන් ධර්මරාජ විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වල නායකත්වය දැරීමටත් සමත් වෙනවා. 

සඳුන් කුඩා කාලයේ

“ධර්මරාජෙන් තමයි මගේ ක්‍රිකට් ආලෝකමත් වෙන්නේ. මම එතැනට එද්දි, මට හොඳ තරගකාරීත්වයක් තිබුණා. පුංචි කාලෙ ඉඳලම මම ටිකක් පරාජය බාර ගන්න කැමති කෙනෙක් නෙමේ. කණ්ඩායමේ කවුරු හරි අර්ධ ශතකයක් ලබා ගත්තොත් මම උත්සාහ කළේ ශතකයක් ලබා ගන්න. එහෙත් නැත්නම් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්න. මේ නිසා නිතරම මට ලකුණු අතර ඉන්න අවස්ථාව උදා වුනා.” 

සඳුන් ධර්මරාජයේ සිටිද්දිම තමයි වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ 2011 අවුරුද්ද. ඇන්ජලෝ ජයසිංහගේ නායකත්වය යටතේ ඉන්දීය සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සඳුන් එක් වෙනවා. එම තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට සඳුන් සමත් වෙනවා. 

ඊට පසුව මැලේසියාවේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වෙන සඳුන් 2012 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සනිත ද මෙල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ ද සාමාජිකයෙක් වෙනවා. එම තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලබා ගත් සඳුන් එහි සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා. 

එම තරගාවලියෙන් පසුව සඳුන්ට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායකත්වය හිමි වෙනවා. කණ්ඩායමේ නායකයා වෙන්නේ කුසල මෙන්ඩිස්. ඔවුන් දෙදෙනාගේ දායකත්වය මත පැවති බංග්ලාදේශය සමඟ වූ තරගාවලිවල දී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සඳුන් සමත් වෙනවා. ඔහු නිල නොලත් ටෙස්ට් තරගාවලිය නිමා වන විට අර්ධ ශතක දෙකක් ද සහ එක්දින තරගාවලිය නිමා වන විට අර්ධ ශතක දෙකක් ද වාර්තා කරනවා. 

එම තරගාවලියෙන් අනතුරුව වයස අවුරුදු 19න් වයස් කාණ්ඩයට සමු දෙන්නට සඳුන්ට සිදු වෙනවා. ඒ කාලයේ දී ඔහු එතෙක් ක්‍රීඩා කළ එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වනවා.

“අවුරුදු දෙකක් විතර මට ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදු සංචිතයකට එන්න බැරි වුනා. මේ කාලය මම ගත කළේ හරිම අමාරුවෙන්. ක්‍රීඩා සමාජ මට්ටමේ දක්ෂතා දැක්වූවත් ඒ කාලයේ ක්‍රීඩකයන් අතර පැවති තරගකාරීත්වය ඊට හේතු වෙන්න ඇති. නමුත් මම මගේ උත්සාහය අත් හැරියේ නැහැ. ලැබෙන හැම අවස්ථාවකම පුහුණුවෙමින් සහ අඩු පාඩු හදා ගනිමින් ඉදිරියට එන්න උත්සාහ කළා.” 

මේ උත්සාහය සඵල වෙන්නේ 2016 වසරේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් වෙමින් දකුණු අප්‍රිකානු සංචාරයකට එක් වෙන්න ලැබීමෙන්. එම තරගාවලියේ දී සඳුන් නිල නොලත් ටෙස්ට් අර්ධ ශතක දෙකක් සහ එක්දින ශතකයක් සහ අර්ධ ශතකයක් ද ලබා ගන්නවා. එම සංචාරයෙන් අනතුරුව සිම්බාබ්වේ තරග සංචාරයක ද යෙදෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ එක්වෙන සඳුන් එම තරගාවලියේ දී ලකුණු 151ක් ලබා ගනිමින් නැවත කතා බහට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවා.   

තවත් විශේෂාංග ලිපි: 

ඉන් අනතුරුව මෙරට සංචාරයක නිතර වූ බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ද සඳුන් එක් වෙනවා. එම තරගාවලියේ තෙවැනි තරගයට එක් වෙන සඳුන් ලකුණු 78ක් ලබා ගන්නවා. දඹුල්ලේ දී වාර්තා කළ එම ඉනිමත් අමතක නොවන ඉනිමක් ලෙසයි සඳුන් හඳුන්වන්නේ.

සඳුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නේ 2017 වසරේ දී. ඒ දකුණු අප්‍රිකානු සංචාරයට එක් වෙමින්. එම සංචාරයේ තරග තුනකට සහභාගී වෙන සඳුන් ඉනිම තුනක දී ලකුණු 73ක් ලබා ගන්නවා. ඒ අර්ධ ශතකයක් ද ඇතුළත්ව. 

“නවකයෙක් ලෙසින් මට ලැබුණ ඒ අවස්ථාව මම ඉතා අගය කරනවා. දෙවැනි තරගයේ දී මම පන්දු 51කට මුහුණ දෙමින් ලකුණු 58ක් ලබා ගන්නවා. ඒත් අද මට හිතෙනවා, මට ඒ ඉනිම තවත් දුරට ගෙන යන්න තිබුණා කියලා.” 

එම තරගාවලියෙන් අනතුරුව මෙරට සංචාරයක යෙදුණ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පුහුණු තරගයක දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සඳුන් සමත් වෙනවා. එම තරගය සඳුන් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ අවසන් තරගය ද වෙනවා. අනතුරුව එන්. සී. සී. කණ්ඩායමෙන් ඉවත් වෙන සඳුන් පසුගිය වසරේ දී එස්. එස්. සී. කණ්ඩායම සමඟින් එක් වෙනවා. ඊට එක් වූ පළමු වසරේ දී ම සඳුන් ලකුණු 700කට වැඩියෙන් ලබා ගැනීමට සමත් වෙනවා. 

මෙම වසරේ තරගාවලියේ දී නිට්ටඹුව සමඟ පැවති පළමු තරගයේ දී ශතකයක් වාර්තා කරන සඳුන් තරගාවලිය අවසන් කරමින් පැවති අවසන් තරගයේ දී බදුරලිය සමඟ පැවති තරගයේ දී ද ශතකයක් වාර්තා කරනවා. පසුගිය සතියේ නිමා වූ මෙම තරගාවලියේ දී සඳුන් තරග 9ක ඉනිම් 16කට සහභාගී වෙමින් ලකුණු 697ක් ලබා ගන්නවා. සඳුන්ගේ එම දක්ෂතාව මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට එක් වීමට ද සමත් වෙනවා. 

සඳුන් 2012 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ දක්ෂතම පිතිකරු ලෙසින් සියැට් සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ වගේම සඳුන් පාසල් කාලයේ දක්ෂ කෙටි දුර ධාවකයෙක්. 2007 වසරේ දී පාසලේ දක්ෂතම මලල ක්‍රීඩකයා වෙන්නේ සඳුන්. ඒ මීටර් 100 සහ 200 රන් පදක්කම් දිනා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන්. 

“ක්‍රිකට් නිසා මලල ක්‍රීඩාව අමතක කළා. ඒ ටික හරි දිව්වේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩාවලට. ඒකත් කිහිප දෙනෙක්ගේ ඉල්ලීම නිසා. එතැනින් ඉදිරියට යන්න මට හිතුණෙ නැහැ. ක්‍රීඩාවක් විදහට ක්‍රිකට් ගැන විතරයි මම හිතුවේ. මගේ ගෙදර අය වුනත් වැඩි කැමැත්තක් දක්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට.”

සඳුන්ගේ පියා රංජිත් වීරක්කොඩි, ව්‍යාපාරිකයෙක්. මව මනෝජා ප්‍රියන්ති හේරත්, ගෘහණියක්. ඔවුන්ගේ පවුලේ සඳුන්ට අමතරව වැඩිමල් දරුවා ලෙසින් හෂාන් වීරක්කොඩි සිටිනවා. ඔහු පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරත් ඊට පසුව ඔහුගේ කාලය ගත වෙන්නේ පියා සමඟ එකතු වී ව්‍යාපාරික කටයුතු කරන්න. 

ඔවුන්ගේ සහයෝගයත් කුඩා කල සිටම ඔහුට ගුරුහුරුකම් ලබා දුන් පුහුණුකරුවන් සහ ක්‍රිකට් දිවියට උදව් කළ සියලුම දෙනාටත් ගෞරවයක් ලෙසින් නැවත වතාවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වීම තමයි සඳුන්ගේ බලාපොරොත්තුව. 

“ඒ වගේම මගේ ලොකු ආසාවක් තියෙනවා, ලොව වේගවත්ම ශතකය වාර්තා කරන්න. දැනට ශ්‍රී ලංකාවේ ඒ රෙකෝඩ් එක තියෙන්නේ මගේ. මම එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරමින් බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව බී. ආර්. සී. පිටියේ දී ම පන්දු 39කට ශතකයක් වාර්තා කරනවා. ඒක ලෝකයේ වේගවත්ම ශතක අතර 5 වැනි ස්ථානයේ තිබෙනවා. නමුත් ලෝකයේම එක වෙන්නයි මගේ ආසාව.”

සඳුන්ගේ එම බලාපොරොත්තුව ඉටු වේවායි ThePapare.com අපගේ ද ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<