ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව එහි අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති සියලු අවස්ථාවන් අහිමි කරගත්තේය. ඒ සඳහා හේතු වූයේ කුමක්ද, ගත යුතු තීරණ ආදිය ගැන සලකා බැලීමට බලාධාරීන්ට උචිතම කාළය මෙය යැයි හැගේ.

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාවේ ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැවුම් නොවූවත්, තමන්ගේ රටේ කණ්ඩායමට අධිශ්ඨානශීලීව තරගාවලියට මුහුණ දීම සඳහා සියලු රටවැසියන්ගේ ආශිර්වාදය ද සහිතවය. එම ආශිර්වාදය අප රට වැසියන් සිදුකළේ, සෑමවිටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟ බැඳි පවතින ක්‍රීඩාලෝලීන්ගේ ස්වභාවය හේතුවෙනි. එහෙත් මෙවර තරගාවලියට ඉදිරිපත්වන ශ්‍රී ලංකා කණ්ඩායම කකුල් කැඩුණු අශ්වයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වැනි යැයි මතවාදයක් රටතුළ ගොඩනගා තිබුණු බවද පැවසිය යුතුය. ඒ අන්කිසිවක් නිසා නොව ආසියානු ක්‍රිකට් තරගාවලිය ආවසානයේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ ස්වභාවය අවබෝධ කරගනිද්දීය. බංග්ලාදේශයේ පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලිය පළමු වතාවට පන්දුවාර විස්සේ තරගාවලියක් ලෙස මෙවර පැවතුණු අතර ශ්‍රී ලංකාව සත්කාරක බංග්ලාදේශයේ ඉදිරියේදී පරාජයට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිඩා රටාව, ආක්‍රමණශීලී තරගාවලියකදී කවර ස්ථානයක පවතින්නේද යන්න සම්බන්ධයෙන් ක්‍රිඩා විචාරකයන් තුළ අවබෝධයක් ඇති කර තිබුණේය. වෙසෙසින්ම ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ එතරම් ඈතට ගමන් කරන්නේ නැතැයි විශ්වාස කළ නමුත් බුද්ධිය පසෙකින් තබා කැමැත්ත මත පිහිටා සියල්ල දෙස විශ්වාසයෙන් යුතුව බලාසිටීමට පුරුදුවී සිටියේය. එහෙයින් මෙවර ශී‍්‍ර ලංකා පිලට අත්විඳින්නට සිදුවූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මෙරට විචාරකයන් හා ක්‍රිඩා ලෝලීන් තුළ ඇතිකරනු ලැබුවේ කම්පනයක් පමණි.

එසේ වන්නේ ඇයි?

මෙවර තරගාවලියේ ආරම්භය අපි සනිටුහන් කළේ ඇෆ්ගනිස්ථානය වැනි කණ්ඩායමක් සමඟ තරග වදිමිනි. එහිදී අප විසින් ප්‍රතිවාදීන්ගේ පිතිකරුවන්ට ලබාදුන් අවකාශය සමඟ පන්දුයැවීමේ බල ඇණියේ දුර්වලතා ‍ප්‍රකට වූ බව අපගේ අදහසය. චමීර දුෂ්මන්ත් නවක වේග පන්දුයවන්නෙක් වශයෙන් කණ්ඩායමට ඇතුළුවී දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් සතුටට පත්විය හැකි මුත් නුවන් කුලසේකර වැනි මඳ වේග පන්දු යවන්නන් පෙන්නුම් කළ ක්‍රීඩා විලාශයෙන් අවබෝධ කරවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගමන් ගන්නා පථයේ උපරිමය ඇත්තේ කොහේද යන්න සම්බන්ධයෙන් ය.

පිතිකරුවන්ගේ ක්‍රිඩා රටාවද තමන් තුළ පවතින රිද්මයට නොපැමිණීම, සාමූහිකව ගොනු නොවූ භාවය, එකිනෙකාගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසයක්, නිසි තක්සේරුවක් නොකරමින් හුදෙකලාව ක්‍රිඩා කරන බවක් ප්‍රකට කළේය. එයින් ප්‍රකට කෙරූයේ පන්දුවාර විස්සයි විස්ස වැනි තරගාවලියක වේගවත් භාවයට ගැලපෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්වී නොමැති බවය.

එහෙත් වෘත්තීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන කණ්ඩායමකට මේ සඳහා නිදහසට කරුණු ගැලපිය හැකිද යන්න අප විමසිය යුතුව ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොත වනවිට සිටිනු ලබන ස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී අප පළමුවෙන් සලකා බැලිය යුතුව ඇතැයි මාගේ විශ්වාසය. ඒ මන්දයත් තමන්ගේ හොඳම පිතිකරුවන් දෙදෙනා අහිමිවී, ඔවුන්ගේ ස්ථානය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයන්ගේ ස්ථාවර භාවය කණ්ඩායමට අහිමිවීමෙන්, ජාත්‍යන්තර තලයට ඉක්මනින් ගැලපිය නොහැකි නවක ක්‍රීඩකයන් පිරිසක් සමඟ පන්දුවාර විස්සේ තරග සඳහා සුදුසුම පන්දුයවන්නා හා පිතිකරුවා නොමැතිව මේ සඳහා ඉදිරිපත් වුනු හෙයිනි. එහිදී හොඳම වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංග ආබාධයකට ලක්ව සිය කි‍්‍රකට් ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය කී‍්‍රඩා කරමින් සිටින බව පිළිගත යුතුය. අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂාවෙන් බලා සිටි සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ අඩුව පිරවීමට හැකියාවක් තිබුණේ නැතැයි ද කිව යුතුය. ඒ වෙනුවෙන් ආදේශ කළ දිනේෂ් චන්දිමාල්ගෙන්, මැද පෙළ පිතිකරුවකු වශයෙන් ලබාගැනීමට තිබූ දායකත්වයද මෙමගින් අහිමිවූ බව පිළිගත යුතුව ඇත. අනෙක් අතට එක් තරගයකදී හැරුණු කල තිලකරත්න් ඩිල්ෂාන්ගේ නිදහස් ක්‍රීඩා විලාශය අපට දක්නට ලැබුණේද නැත.  කෙසේ නමුත් මෙතෙක් තරගාවලියේ පිතිකරුවන් දැක්වූ දක්ෂතා අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතාව දැක්වූ පිතිකරු වශයෙන් ‍ශ‍ේ‍ර්ණිගතව ඇත්තේ ඔහුවීම මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ පිතිකරු අංශය සම්බන්ධයෙන් අවබෝධ කරගැනීමට හැකිය. පිතිකරුවන් අතරින් ඇන්ජලෝ මැතිව්ස් සාර්ථකත්වයක් සනිටුහන් කළ අනෙක් එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වූයේය.

පන්දුයැවීම අංශයෙන් සලකන කල්හි ශ්‍රී ලංකා කණ්ඩායමේ එකදු පන්දුයවන්නෙක් වත් ඔවුන් සහභාගිවූ තරග හතරේදී කඩුලු හතරක් දවාගැනීමට සමත් නොවූයේය. ඒ අනුව ප්‍රතිවාදී කණ්ඩායම්හි පිතිකරුවන් මෙල්ල කිරීම සම්බන්ධයෙන් සලකන ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගෙන් ලැබුනු සාර්ථකත්වය ප‍්‍රමාණවත් යැයි සැලකිය හැක්කේ නැත. අවම වශයෙන් පන්දුයැවීමේදී ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ බොහොමයක් දෙනා තමන්ගේ පන්දුව පතිත කළ යුත්තේ කවර ඉලක්කයකද? ප්‍රතිවාදීන්ට බලපෑම් කරන්නට යැවිය  යුත්තේ කවරාකාරයේ පන්දුද? පිටිය සකසා ඇති ආකාරය අනුව යැවිය යුත්තේ කවර පන්දුද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් තොරව ක්‍රීඩා කරනු දැකගැනීමට හැකිවිය. කෙසේ නමුත් එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නොදන්නා කමට වඩා එය දක්ෂතා අවශ්‍ය තලයට ළඟා නොවීම කැපී පෙණුනේය. වෘත්තීය ක්‍රීඩකයන්ගේ මානසික විශ්වසනීය භාවය හා දක්ෂතාව බිඳ වැටී තිබුනු බවක් මෙහිදී දැකගැනීමට හැකිවිය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා තබා තිබූ සුපිරි පන්දු යවන්නන් කිසිවකුගෙන් හෝ අපේක්ෂිත අරමුණු ඉටු නොවුණු බව කිවහැකිය. මෙය කොතරම් දුරට ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපෑම් කළේද යත් රංගන හේරත් පන්දුවාර 20-20 තරග සඳහා තවදුරටත් ක්‍රීඩා නොකොට සමුගන්නෙමි යැයි තීරණය කළේද පන්දුවාර විස්සේ පන්දුයැවීමේදී මුහුණ දුන් අසාර්ථකත්වය හේතුවෙනි.

ඇත්ත තත්ත්වය කුමක්ද?

සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් අර්බුදයක් ඇතිවූයේ ඇයි දැයි යන්න සම්බන්ධයෙන් අප සලකා බැලිය යුතුව ඇත. එහිදී අප පළමුවෙන්ම ප්‍රකාශ කළ යුතුව ඇත්තේ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ සමුගැනීම සම්බන්ධයෙන් කණ්ඩායම තුළ පවතින හැඟීම කවරේද යන්න මෙමගින් ඔප්පු කළ බව කිවහැකිය. ඒ සමස්ත කණ්ඩායම තුළ සංගක්කාරලාගේ සමුගැනීමත්, ඉන් අනතුරුව සමබර කණ්ඩායමක් ගොඩනගාගැනීමට ඇති හැකියාව පිළිබඳ දුරවබෝධයත් මෙහිදී බලපෑම් කළේ යැයි කිවයුතුව ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට ගියේත් එහිදී අත්දුටුවේත් මෙම අසමතුලිත භාවය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බවය. පන්දුවාර විස්ස වැනි සීඝ්‍ර තරග රටාවක් සඳහා කිසිසේත්ම තමුන් සූදානම් නැති බව ඔවුන් ප්‍රදර්ශනය කරනු ලැබිණි. ඒ පෙරමං නිමිති, අවසානයේ ලෝක කුසලාන පූජාසනයේදී ඔප්පු සිද්ධවූයේය. එහි ප්‍රතිඵලය වූයේ ලෝක ශූරයින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව පමණක් ජයගනිමින් තරගාවලියෙන් ඉවතට විසිවීමය.

කෙසේ නමුත් පන්දුයැවීමේදී, විශේෂයෙන්ම පිටියේ ක්‍රීඩා කිරීමේදි උඩ පන්දු රැකගැනීම, ප්‍රහාර නවතා ලකුණු සීමා කරමින් ප්‍රතිවාදීන්ට පීඩා කිරීම වැනි ක්‍රියාවන් කිසිසේත්ම ජාත්‍යන්තර තලයට නොගැලපෙන ලෙස අප ඉටුකළ බව පිළිගත යුතුව ඇත. එහෙයින් සිදුවූයේ පන්දුයවන්නන්ගේ හැකියාවන්හි පැවැති දුර්වලතා, පන්දු රකින්නන්ගෙන් වඩාත් ඉස්මතුවීමටය. පිතිකරුවන්ගේ අසාර්ථක, අසමතුලිත භාවය එලෙස නිර්මාණය වන ලකුණු පුවරුව හඹායාමේ අභියෝගය බාර නොගැනීමය. ඒ අනුව මෙවර තරගාවලියේදි අප පිත්තෙන්, පන්දුවෙන් හා පන්දු රැකීමෙන් යන සියලු අංශයන්ගෙන් අසාර්ථක වීමු. ඒ සඳහා ඉවහල් වූ පුහුණුකරණයේ ස්ථාවරත්වයක් නොමැතිව, ප්‍රබල ක්‍රීඩකයන් සමුගැනීම, නව යටිපෙළක් නිර්මාණය කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රියා නොකර සිටීම ආදී කාරණ අඩුවැඩි වශයෙන් හේතු පාදකවී තිබුණේය. අනෙක් අතට විනිසුරු තීරණ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවට තීරණාත්මක වන අවස්ථා දැකගැනීමට ලැබුණේය. ඒ අනුව සමස්තයක් වශයෙන් අවාසනාව තිබුණේ මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟය. එහි ප්‍රථිපලය වූයේ අවසන් පූර්ව වටයට නොගොස් හැරී ගෙදර ඒමය.

එය සම්බන්ධව ඇන්ජලෝ මැතිව්ස් පවසන කතාවක් මෙම පරාජයට හේතු සොයන කෙටි සටහන අවසන් කිරීමට ඉවහල් කරගත හැකිය.

“අපි අවසන් පූර්ව තරගය සඳහා පෙනී සිටීමට තරම් සුදුසු දක්ෂතා නොපෙන්වූ හෙයින් ඒ සඳහා අප සහභාගිවීම උචිත නැත.

 

ඒ ඔහුගේ අදහසය. මෙම තරගාවලිය සම්බන්ධයෙන් වඩාත් සමීපව සිටි කණ්ඩායමේ සුක්කානම දැරූ ක්‍රීඩකයාගේ අදහසය. එයින් එපිටට වෙනත් දෙයක් කිවීමට යුතුනැත. අප කියන්නේ අවසන් මොහොතේ කණ්ඩායම වෙනස් කිරීම වැනි කාරණා මේ සඳහා ඉවහල් වූවාට වඩා කී‍්‍රඩකයන් සියල්ල එකමිටින් ගෙන විශ්වාසය, දක්ෂතාව හා කැපවීම එක්කාසු කර එය එකවර ඉවතට ගැනීමට හැකියාව ලැබුණේ නැති බවය.