මෙන්ඩිස්ගේ වීසා ප්‍රමාදය ගැන SLC කරුණු පහදයි

ICC Men's T20 World Cup 2024

174

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් මුහුණ දී ඇති ඇමරිකානු වීසා ගැටලුව හැකි ඉක්මනින් විසඳෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.  

මෙම වීසා ගැටලුව නිසා කුසල් මෙන්ඩිස් හට කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමඟ ඇමරිකා එක්සත් ජනපදයට පිටත් වීමට නොහැකි වූ අතර ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ ද කණ්ඩායම සමඟ පිටත්ව තිබුණේ නැහැ.  

කුසල් මෙන්ඩිස් මුහුණ දී ඇති ඇමරිකානු වීසා ගැටලුව ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, 

“කුසල්ගේ වීසා ප්‍රතික්ෂේප වෙලා නැහැ, ඒක තාමත් සැකසෙමින් තිබෙන්නේ. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අතිරේක ලියකියවිලි වගයක් ඉල්ලලා තියෙනවා. ඔහු එම ලියකියවිලි භාරදුන්නට පස්සේ දින දෙකක් ඇතුළත ඔහුට අදාළ විසා ලැබෙයි.”  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව කුසල් මෙන්ඩිස් පසුගිය කාලසීමාවේ මුහුණ දුන් රිය අනතුරකට අදාළ සිදුවීම පිළිබඳ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.  

ලෝක කුසලානය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම Morrisville හි දී පුහුණුවීම් ආරම්භ කර තිබෙන අතර කණ්ඩායම මැයි මස 28 පළමු පුහුණු තරගයට සහභාගි වීමට නියමිතයි.  

ලෝක කුසලානයට සහභාගී වන රටවල් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහය දීමේ කාලසීමාව මැයි මස 25 වන දින ආරම්භ වෙනවා. නමුත් අපි සති දෙකකට කලින් කණ්ඩායම ඇමරිකාවට යැව්වා, ඒ නිසා කණ්ඩායමට පුළුවන් එහි දේශගුණයට සහ තණතීරු වලට හුරු වෙන්න. ඒ වගේම අපි හිතනවා කුසල් මෙන්ඩිස්ට පුහුණු තරග ආරම්භයට පෙර කණ්ඩායම සමඟ එක් වෙන්න පුළුවන් වෙයි කියලා.”, යැයි ඈශ්ලි ද සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කළා.  

ලෝක කුසලාන පළමු වටය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමඟ පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින අතර තරගාවලිය ආරම්භ කරමින් ජුනි මස 02දා දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.  

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<