“පරාජයට හේතුව ක්‍රීඩකයින්ගේ අාබාධයි” – මැතිව්ස්

682
Sri Lanka cricket media conference after England tour

පරාජයට නිදහසට කරුණු දැක්වීම තමන් එතරම් කැමති ක්‍රියාවක් නොවුනත් එංගලන්ත තරග සංචාරයේ පරාජයට පන්දු යවන්නන්ට ඇතිවූ ආබාධ බෙහෙවින් බලපෑ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. එංගලන්තයේ සිට නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ තරගාවලිය පරාජය වුවත් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් පෞද්ගලික දක්ෂතා වර්ධනය කර ගැනීම අනාගතයට සුභ ලකුණක් බවයි.

පසුගිය ලිපි: සීතල පන්දු ගල්කල උණුසුම් පිතිකරණය

අවාසනාවකට අපේ කණ්ඩායමට ජයග්‍රහණ ලබාගන්න බැරිවුනත් තරගාවලියෙන් අපිට ධනාත්මක කරුණු රැසක් ලබාගන්න පුළුවන් වුණා. ඉතා සීතල සහ පන්දුව දෝලනය වන පරිසරයක කුසල් මෙන්ඩිස් ඇන්ඩර්සන්ට සහ බ්‍රෝඩ්ට මුහුණදුන් ආකාරය. කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න වගේම සියලු පිතිකරුවන් දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ සිට හොඳින් ක්‍රීඩා කළා. නමුත් අවාසනාවට අපේ පන්දු යවන්නන් සහ පිතිකරුවන් එකම අවස්ථාවේ දස්කම් අතරට පිවිසුණේ නැහැ’‘ මැතිව්ස් පැවසීය.

මේ තරගාවලියට පෙර සහ තරගාවලිය අතරතුර පන්දු යවන්නන් කිහිපදෙනෙකු ආබාධ වලට ලක් විය. ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ඒ අතර සිටින ප්‍රධාන ක්‍රීඩකයින් වේ. ඒ අතරතුර තමන්ට මුහුණ දීමට සිදුවූ ආබාධය කණ්ඩායමට එල්ලවූ තවත් බලවත් පහරක් බව මැතිව්ස් මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කලේය.

 පසුගිය මාස 6 ක් පමණ කාලයක් තුලදී අපි හොදින් ක්‍රීඩා කළේ නැහැ. නිදහසට කරුණු දෙන්න කැමැති නැහැ. නමුත්, ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනා ආබාධිත වුණාට පස්සේ මාත් පාදයේ ආබාධයකට ලක්වුණා. පළවෙනි තරගයෙන් පස්සේ දෙවැනි, තුන්වැනි සහ හතරවෙනි තරගවලදී මටත් පන්දු යවන්න බැරි වුණා. මම විශ්වාස කරනවා අපිට ඉදිරියේදී, අපේ ආබාධිත වෙලා ඉන්න ක්‍රීඩකයන් ආවට පස්සේ හොදින් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා

පසුගිය ලිපි: වාර්තාගත පරාජයට පසු වදනක්

කෙසේ වෙතත් ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධ වලට ලක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඉතා වැදගත් තොරතුරක් මෙහිදි අනාවරණ කළේ,

අපි මේ ආබාධ ප්‍රශ්නය ගැන ක්‍රිකට් ආයතනයේ ඉහල බලධාරීන් බහුතරයක් සමග කතා කළා. නමුත් මේ සඳහා ක්‍රීඩකයන්ගේ කැපවීමත් අත්‍යාවශ්‍යයි. ඔවුන්ගේ කැපවීමේ අවශ්‍යතාව කිසිසේත්ම බැහැර කළ නොහැකි කරුණක්. මම මේ ක්‍රීඩකයන් ඉදිරියේදීමයි මේක කියන්නේ, ක්‍රීඩකයන් තමන්ගේ සුව පහසු කලාපයෙන් පිටතට ඇවිල්ලා ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට වෙහෙස විය යුතුයි. ක්‍රීඩකයන්ට තරග රැසක් තියනවා ක්‍රීඩා කිරීමට. නමුත්, තමන්ට ශාරීරික යෝග්‍යතාව නොමැතිනම් ක්‍රීඩකයන් තරගාවලියක් දෙකක් අතහැරලා හෝ ශාරීරික යෝග්‍යතා වර්ධන ව්‍යායාම මගින් තම යෝග්‍යතාව වර්ධනය කර ගත යුතුයි. මම, ක්‍රිකට් බලධාරීන් හෝ පුහුණුකරුවන් කොපමණ කැපවීම් කළත් ක්‍රීඩකයන් තම තමන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට කැපවීමෙන් මහන්සි වෙන්නේ නැතිනම් ආබාධ වළක්වාගන්න බෑ.

”අපේ ප්‍රධාන ඉලක්කය ඇවිල්ලා 2019 World Cup එක. ඒකට කණ්ඩායමක් හදාගන්න එක” ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. නමුත් ෆර්වීස් මහරූෆ් සහ සීක්කුගේ ප්‍රසන්න වැනි, එක්දින තරගාවලිය තුළ කණ්ඩායමට බරක් වූ ක්‍රීඩකයන් තෝරා ගැනීම, මැතිව්ස් සාධාරණීකරණය කළේ මෙලෙසින්.

පසුගිය ලිපි: පන්දු යවන්නෝ “ෆේල්” නම් පුහුණුකරුවෝ “පාස්‌ද”?

” කණ්ඩායමක් ගත්තොත් සමබරතාවයක් තියෙන්න ඕන. අත්දැකීම් සහිත ක්‍රීඩකයින් සහ නවකයින් කියන දෙකම අවශ්‍යයි. නමුත් මං හිතන්නේ අපිට නවක ක්‍රීඩකයින් 11 දෙනෙක්ගෙන්ම ක්‍රීඩා කරන්නත් බැහැ.” 

කෙසේ වෙතත්, වසර 8ක පළපුරුද්දක් ඇති ඇන්ජලෝ මැතිව්ස්ට සහ වසර 6ක අත්දැකීම් ඇති දිනේෂ් චන්දිමාල්ට යොවුන් ක්‍රීඩකයන් 9 දෙනෙකුගේ වගකීම භාර ගැනීමට නොහැකි වීම මෙන්ම, පළපුරුදු ක්‍රීඩකයකු අවශ්‍ය වූ පමණින් 2019 ලෝක කුසලානය වනවිට වයස 35 ඉක්මවන ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැඳවන තේරීම් කමිටුවේ ක්‍රියා කලාපය පිළිබඳවද මෙරට ක්‍රීඩා ලෝලීන්ට ඇතිවන්නේ මහත් ප්‍රශ්නාර්ථයකි.

තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට