“බයවෙන්න එපා කුසල් අයියා, මම ඇගෙන් හරි ගහන්නම්”
පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය වදන් පෙළක් වූ මෙය ඔබටත් ඉතා හුරුපුරුදු එකක් වන බවට සැකයක් නොමැත. එම වදන් පෙළෙහි ගැබ්වී ඇති දිරිය, එඩිතර බව අප හැම දෙනාගේ සිත් බැඳගත් බව නොරහසකි. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවා හිස් ආවරණ, අත් ආවරණ ආදී ආරක්ෂිත උපාංග රාශියකින් ආරක්ෂා වී සිටිය ද ඉහත ප්‍රකාශය වැනි ප්‍රකාශයක් කළ හැක්කේ සැබැවින්ම සිතේ සවිය හොඳින් ඇති ක්‍රීඩකයෙකුට පමණි.
එය එසේ නම් වර්තමානයේ මෙන් හිස් ආවරණයක්වත් නොමැතිව, පැයට කිලෝ මීටර 150කට අධික වේගයකින් එවන පන්දුවලට මුහුණ දී පිතිකරණයේ නොයෙක් හරඹ පෑ 70 හා 80 දශකවල දී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණ ක්‍රීඩයකයන් සතුව තිබූ ජවය හා එඩිතර බව ගැන මම ඔබට කිව යුතු නොවේ. ඔවුන් විශිෂ්ටයන් ය. ඒ විශිෂ්ටයන් අතරිනුත් විශිෂ්ටතමයන් වශයෙන් අපට හඳුනාගත හැකි ක්‍රීඩකයන් අතලොස්සක් වෙයි.
වරක් එංගලන්තයේ ඕවල් පිටියේ දී ලොව එදා මෙදා තුර පහළ වූ වේගවත්ම පන්දු යවන්නන් කිහිප දෙනා අතරට අයත් ජෙෆ් තොම්සන්ගේ පන්දුවක් හිසේ වැදී රෝහල්ගත වන්නට සිදු වුවද පසු කලෙක දී එංගලන්තයේ දී ම ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් නම් දරා තිබෙන ලෝඩ්ස් පිටියේ දී ප්‍රබල වේගපන්දු යවන්නෙකු ලෙස නම් දරා සිටි ඉයන් බොතම් ප්‍රමුඛ එංගලන්ත පන්දු යැවීමේ බල ඇණියට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් පළමු ඉනිමේ ලකුණු 111ක් සහ දෙවන ඉනිමේ ලකුණු 94ක් ලබා ගත් දුලිප් මෙන්ඩිස් නම් වූ ඒ විශිෂ්ටතමයා පිළිබඳවයි අපගේ මේ දිගහැරුම.
මින් දින කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව තුළ වාර්තා කළ දෙවැනි ටෙස්ට් ජයග්‍රහණයත් සමඟින් මෙන්ඩිස් නාමය නැවත වාරයක් ප්‍රේක්ෂකයන්ගේ මුව අගින් මිමිණෙන්නට පටන් ගෙන ඇත. 2010 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුල් වරට දකුණු අප්‍රිකානු දේශයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය දැරූ, 1981/82 වසර සිට 1986/87 වසර දක්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ, ඉන් නොනැවතී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය ඇතුළු වැදගත් නිලයන් රැසක නියැලෙමින් තම වගකීම නිසි අයුරින් ඉටු කළ දුලිප් මෙන්ඩිස්ගේ ක්‍රීඩා දිවිය දෙස අප මදකට හැරී බලමු.
ඔහු ක්‍රීඩකයෙකු ලෙස මුල්වරට ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ 1972 වසරේ දී ය. ඒ නිල නොවන ටෙස්ට් තරගයක් වෙනුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිවයි. එහි දී අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිස පළමු ඉනිමේ ලකුණු 52ක් හා දෙවෙනි ඉනිමේ ලකුණු 34ක් ලබා ගන්නට ඔහු සමත් විය.
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබෙන්නට පෙර 1975 වසරේ නොවැම්බර් මාසයේ දී නිල නොලත් ටෙස්ට් තරග සංචාරයක් වෙනුවෙන් ඉන්දියාව බලා ගිය කණ්ඩායමට ඇතුළත් වීමට දුලිප් සමත් විය. එහි දී ඉන්දීය උතුරු කලාපීය කණ්ඩායම සමඟින් ෆෙරෝස් ශා කොට්ලා ක්‍රීඩාංගණයේ දී පැවති නිල නොවන ටෙස්ට් තරගයේ දී එවකට ඉන්දියානු ජාතික කණ්ඩායමේ ප්‍රබල ආරම්භක වේගපන්දු යවන්නන් යුගලය වූ මදන් ලාල් හා මොහින්දර් අමර්නාත් මෙන්ම ඉන්දීය ජාතික කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා වූ බිෂන් බේඩිගෙන් සැදුම්ලත් පන්දු බල ඇණිය හමුවේ අලංකාර කට් පහරවල්, පුල් පහරවල් සහ ඩ්‍රයිව් පහරවල් වලින් සමන්විතව දුලිප් මෙන්ඩිස් විසින් දියත් කළ ඉනිම එවක විචාරකයන්ගේ බොහෝ පැසසුමට ලක්වූ එකකි.
තම පළමු එක්දින ජාත්‍යන්තර තරඟයට 1975 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සහභාගී වන දුලිප් ඔහුගේ මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමත් සමඟින් 1982 වසරේ දී ය.
ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ අවස්ථාවක් ලෙස 1984 වසරේ එංගලන්ත සංචාරය හැඳින්විය හැකිය. එහි දී දුලිප් මෙන්ඩිස්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නොවේ. සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ට පවා වාර්තා කිරීමට නොහැකි වූ, ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහින අතරින් එකක් වන ලෝඩ්ස් පිටියේ ශතකයක් රැස් කිරීම දුලිප් මෙන්ඩිස් විසින් 1984 සංචාරයේ දී සැබෑ කර ගැනීමට සමත් විය.
පළමු ඉනිමේ ලකුණු 111ක් රැස් කළ දුලිප් එවකට එංගලන්ත කණ්ඩායමේ සුපිරිතම පන්දු යවන්නා වූ ඉයන් බොතම් හට අමතක නොවන ප්‍රහාරයක් දියත් කළ අතර බොතම්ගේ පන්දු යැවීම දැක්වුනේ පන්දුවාර 29 නිලකුණු පන්දුවාර 6 ලකුණු 114ට කඩුල්ලක් වශයෙනි (29-6-114-1). එහි දී දුලිප් ලකුණු 90 සිට 100 දක්වා ගමන් කළේ ඉයන් බොතම්ට හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමිනි. දෙවැනි ඉනිමේ ද ලකුණු 94ක් ලබා ගනිමින් ශතකය පෙනෙන මානයටම පැමිණිය ද පළමු ඉනිමේ ලෙසම විශාල පහරක් එල්ල කර ශතකය වාර්තා කිරීමට සිතා අපරීක්ෂාකාරී පහරක් එල්ල කිරීම නිසා තම ඉනිම ලකුණු 94කට සීමා කරගන්නට ඔහුට සිදු විය. ඒ නිසා ලෝඩ්ස් පිටියේ ඉනිම් දෙකෙහි දී ම ශතක වාර්තා කිරීමෙ අවස්ථාව ඉතා අවාසනාවන්ත අයුරින් අහිමි විය.
පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ලකුණු 1329ක් රැස් කළ දුලිප් මෙන්ඩිස්ගේ පිතිකරණ සාමාන්‍යය 31.64කි. වර්තමාන ක්‍රිකට් ලෝකයට එය ඉතා සාමාන්‍ය අගයක් වුවත් ලෝක ක්‍රිකට් සිතියමේ ඉතා කුඩා අගයක් හිමි වී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස එක් වසරකට ටෙස්ට් තරගයකට දෙකකට පමණක් සහභාගී වෙමින්, ඩෙනිස් ලිලී, ජෙෆ් තොම්සන්, ඉයන් බොතම්, කපිල් දේව් වැනි පන්දු යවන්නන්ට මුහුණ දී රැස්කළ මෙම ලකුණුවල ප්‍රමාණාත්මක අගයට වඩා ගුණාත්මක අගය ඉතා ඉහළය. එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට තරගයේ වීරයා සම්මානයක් දිනා ගනු ලැබූවේ ද දුලිප් ය. ඒවා කිසි දිනෙක නොමැකෙන, නොබිඳිය හැකි වාර්තා ය.
ක්‍රීඩකයෙකු, නායකයෙකු ලෙස කොතරම් දස්කම් දැක්වුව ද ඒ සියල්ල අභිබවමින් ඔහුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උපරිම දායකත්වයක් ලැබුණේ කළමනාකරුවෙකු හා තේරීම් කමිටු සාමාජිකයෙකු වශයෙන් ය.
1996 වසරේ ලෝක කුසලානය දිනා ගැනීමේ මෙහෙයුමේ ඉතා ප්‍රබල සාමාජිකයෙකු වූ දුලිප් එවකට තේරීම් කමිටු සාමාජිකත්වයත්, කණ්ඩායම් කළමනාකාරිත්වයත් භාරගෙන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතා ඉහළ දායකත්වයක් සපයන ලදි.
ඒ ගමනේ විශේෂ කරුණු කිහිපයක් දුලිප් සිහිගන්වන්නේ මෙලෙසිනි.
“ටෙස්ට් වරම් ලැබෙන්නට පෙර සමයේ දී ඕස්ට්‍රේලියාව අපට ගොඩක් උදව් කළා. අපට ඕස්ට්‍රේලියානු තරඟ සංචාර ලබා දුන්නා වගේම ඔවුනුත් අප රටේ ක්‍රීඩා කිරීමට පැමිණියා. නමුත් 95/96 වසර වන විට අපි ලෝක තලයේ හොඳ කණ්ඩායමක් බවට පත් වුනාට පසුව ඔවුන්ට අපිව අභියෝගයක් බවට පත් වුනා. එතකොට ඔවුන් අපට කෙනෙහිලිකම් කරන්න පටන් ගත්තා. ඔය වටපිටාව ඇතුළේ තමයි අපි 95 ඕස්ට්‍රේලියා සංචාරය ගියේ.”
සැබැවින්ම 1995 වසරෙන් පසු අපට ඕස්ට්‍රේලියාවෙන් එල්ල වූ කෙනෙහිලිකම් මෙතෙක් යැයි කිව නොහැක. ඒ සියල්ලටම සාර්ථක ලෙස මුහුණ දීමේ රහස ඔහු හෙළි කරන්නේ මෙලෙසිනි.
“Manager (කළමනාකරු ), Captain (නායකයා), Vice Captain (උප නායකයා) එකට ඉන්න ඕන. Manager එක පැත්තකට ඇදල, Captain තව පැත්තකට ගිහිල්ලා, Vice Captain තව පැත්තකට ගියොත් ඒ ටීම් එකට කවදාකවත් හරියන්නේ නෑ. 96 දී අපි තුන්දෙනාම හිටියෙ එකට.”
දුලිප් එසේ තම මතකය ආවර්ජනය කරයි. මුත්තයියා මුරලිදරන් හට පන්දුව දමාගැසීමේ චෝදනා එල්ල වන විට එවක කණ්ඩායමේ නායකයා වූ අර්ජුණ රණතුංග මුරලි වෙනුවෙන් පෙනී සිටි අයුරු අපට මතකය. එසේම කණ්ඩායමේ ක්‍රීඩකයන් එකා වන්ව මුරලි හා අර්ජුණ පසුපස පෙල ගැසුණ අයුරු අපට මතකය. එසේ නම් අර්ජුනගේ ඒ නායකත්වයේ රැකවල් පවුරක් ලෙසින් ක්‍රියා කරන්නට ඇත්තේ අර්ජුන, දුලිප් හා අරවින්ද තිදෙනා අතර තිබූ ඒ අන්‍යෝන්‍ය විශ්වාසය හා බැඳියාවයි.
වර්තමානයේ මෙන් නොව 1996 වසර වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත එකක් විය. විවිධ අදහස් ඇති ජ්‍යේෂ්ඨයන් පාලනය කරගනිමින් එක් අරමුණක් වෙත යොමු කිරීම පහසු දෙයක් නොවේ.
එය සිදු කළ ආකාරය දුලිප් සිහිගන්වන්නේ මෙලෙසිනි.
“96 අපට හිටපු කණ්ඩායමේ ක්‍රීඩකයන් ගොඩක් අභිමානයෙන් හිටපු පිරිසක්. අර්ජුන, අරවින්ද, ගුරුසිංහ, හෂාන්, රොෂාන් වගේ අය අභිමානවත් චරිත. එයාලගෙ අභිමානයට අභියෝග කරන්න බැහැ. මොනවා හරි දෙයක් කියනකොට ඒක කියන විදිහක් තියෙනවා. මොකක් හරි දෙයක් කරනවා නම් ඒක හරි විදිහට කරන්න ඕන. අනිත් කාරනේ එයාල එක්ක හරි කෙළින් වැඩ කරන්න ඕන. එකක් මෙතන කියල එකක් තව තැනක කියනවා කියල එයාල දැනගත්තොත් අන්න එතනදි එයාලගෙ විශ්වාසය නැතිව යනව. Manager (කළමනාකරු), Captain (නායකයා), Vice Captain (උප නායකයා) එයාලගෙ විශ්වාසයයි ගරුත්වයයි ගන්න ඕන කරන වැඩවලින්.”
මෙය ක්‍රීඩා කණ්ඩායමකට මෙන්ම ඕනෑම ආයතනයකට වුවද ඉතා හොඳ ආදර්ශයකි. කළමනාකරුවෙකු නිරන්තරයෙන් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුය. විනිවිදභාවය වියැකී යත්ම අනුගාමිකයන්ගේ විශ්වාසය බිඳී යෑම නොවැළැක්විය හැකි දෙයකි. 96 අපට සිටි ජ්‍යේෂ්ඨයන් පිරිස නිවැරදිව කළමනාකරණය කිරීමෙන් ම දුලිප් සතුවන කළමනාකරණ හැකියාව පිළිබඳව අපට අවබෝධ කර ගත හැක.
එසේම හොඳ කළමනාකරුවෙකු උපායශීලී තීරණ ගැනීමෙහිලා ද දක්ෂයෙකු විය යුතුය. තම ප්‍රතිවාදීන්ගේ දුර්වලතා හඳුනා ගැනීම මෙන්ම එයටත් වඩා වැදගත් වන තම කණ්ඩායම් සාමාජිකයන්ගේ ශක්තීන් හඳුනා ගැනීම කළමනාකරුවෙකු ප්‍රගුණ කළ යුතු අනිවාර්යය ගුණාංගයකි. දුලිප් 96 කණ්ඩායමේ එක් දුර්වලතාවයක් තම ශක්තියක් බවට පත්කර ගත් අයුරු පහතින් දැක්වේ.
“ජයසූරියයි කළුවිතාරණයි ආරම්භක පිතිකරුවො විදිහට යොදවන එක මම තමයි පටන් ගත්තෙ. ඒක කළේ අර්ජුණ සහ ඩේව් වට්මෝර් දෙන්නා එක්ක කතා කරල. කළුවිතාරණ ඒ දවස්වල හොඳට කඩුලු රැක්කෙ නැහැ. නමුත් ප්‍රවේගකාරී විදිහට හොඳින් පන්දුවට පහර දුන්නා. අපේ අදහස වුනේ කළුවිතාරණට පිතිකරණ ලැයිස්තුවෙ ඉහළ ස්ථානයක් දීලා එයින් ලැබෙන ආත්ම විශ්වාසයෙන් කඩුලු රැකීම ඉහළ මට්ටමකට ගන්න. පළවෙනි දෙවෙනි වතාවල එතරම් සාර්ථක නොවුනත් තරග කීපයක් යනකොට අපි හිතපු දේ ඒ විදිහටම සාර්ථක වුනා. අනෙක් කණ්ඩායම් මේක අවබෝධ කරගන්න මට්ටමට එනකොට අපි ලෝක කුසලානෙ දිනල ඉවරයි. 96 අපිට තිබුණ ශක්තිය අපේ පිතිකරණ ලැයිස්තුව. අපිට ඉතාමත්ම ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් තිබුණා. අපේ පන්දු යැවීමේ බලඇණිය එතරම් ශක්තිමත් නොවුනත් හානිය අවම කරගන්න පුළුවන් මට්ටමක පන්දු යවන්නන් පිරිසක් අපි සතුව හිටියා. 95 වසරෙ පාකිස්තාන සංචාරයෙ දී තමයි අපේ පිතිකරණ ශක්තිය අපි හොඳින්ම වටහා ගත්තෙ. ඉන් පස්සෙ තමයි අපි තීරණය කළේ ලකුණු හඹාගෙන යෑම තමයි අපේ කණ්ඩායමේ ශක්තිය කියල.“
එතැනින් නොනැවතී තම ක්‍රීඩකයන් කෙරෙහි තබා තිබූ විශ්වාසය කෙතරම් දැයි ඔහු මෙසේ පවසයි.
“ලෝක කුසලාන අවසන් පූර්ව තරගෙ දි අපිට සැලසුම් වෙනස් කරන්න වෙනවා. අපි මුලින්ම පහර දෙනකොට අපේ කඩුලු දෙකක් ඉතා අඩු ලකුණු ප්‍රමාණයකට දැවිල යනවා. තරගාවලියෙ හොඳටම ක්‍රීඩා කරපු ජයසූරියත් කළුවිතාරනත් දෙදෙනාම මුල් ඕවර කිහිපය ඇතුලෙ දැවිල යනවා. ඒත් ඒ කිසිම මොහොතක මට පීඩනයක් දැනුණේ නෑ. මොකද අපේ පිතිකරණ ලැයිස්තුව ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වෙලාවෙ අරවින්ද ඇවිත් ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කරල තරගය අපේ පැත්තට හරවලා දුන්නා.”
වත්මන් ක්‍රීඩාව හා එක්ව බැඳුණ, එසේම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් කරුණක් ලෙස “විනය” හැඳින්විය හැකිය. විනය ක්‍රීඩකයන්ට මෙන්ම පරිපාලකයන්ට ද පොදුය. පසුගිය සමයේ දී ක්‍රීඩක හා පරිපාලක විනය පිරිහීම නිසා විවිධ ක්‍රීඩා කණ්ඩායම් තුළ ඇතිවූ ගැටලු අප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිරන්තරයෙන් අත්වින්දෙමු. මේ පිළිබඳව ඉතා වැදගත් අදහසක් දුලිප් ඉදිරිපත් කරයි.
“මම කියන්නෙ නැහැ ක්‍රිකට් ටීම් එකක ඉන්න ඔක්කොම අය සාන්තුවරයො කියල. ඒගොල්ලො කරන හරි වැඩ වගේම වැරදි වැඩත් තියෙනවා. කළමනාකාරීත්වයට තියෙන වගකීම තමයි එයාල හරි පාරෙ යවන එක. 96 කණ්ඩායමේ ක්‍රීඩකයො වැරදි කරපු අවස්ථා තිබුණා. නමුත් ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන කොට තමන්ගෙ උපරිමය ක්‍රීඩාව වෙනුවෙන් දුන්නා. ඔවුන් කවදාවත් සීමාව ඉක්මවල ගියේ නැහැ. ඔවුන් වෘත්තීය ක්‍රීඩකයන් විදිහට ඔවුන්ගේ වගකීම ඉටු කළා. ඒ නිසයි අපි 96 දී ලෝක කුසලානය ජයග්‍රහණය කළේ.”
ඒ ලෝකය අඟුටුමිට්ටන් ලෙස සැලකූ යෝධයන් පිරිසකගේ වෘත්තීය කැපකිරීමයි. ඒ කැපකිරීමේ ප්‍රතිඵල ඔවුන් මෙන්ම ජාතියක් වශයෙන් අප අදටත් භුක්ති විඳින්නෙමු.
ක්‍රීඩාව ගොඩ ගැනීමට නම් දුලිප් මෙන්ඩිස් වැනි කළමනාකරුවන් හට සුදුසු තැන් හා හිමි තැන් ලබා දීම සිදු කළ යුතුය. අහෝ අවාසනාවක තරම. අප 2010 වසරේ දී දුලිප් මෙන්ඩිස්ව තේරීම් කමිටු සභාපති තනතුරෙන් පහකළ පසු ඕමාන ක්‍රිකට් ආයතනය එරට ක්‍රිකට් භාරගෙන කණ්ඩායම ඉහළට ඔසවා තැබීම සඳහා ඔහුට ආරාධනා කරන ලදි.
දුලිප් වගකීම භාරගන්න විට 5 වන කාණ්ඩයේ සිටි ඕමාන කණ්ඩායම අද සිටින්නේ දෙවන කාණ්ඩයේ ඉහළම කණ්ඩායම් දෙක අතරේ ය. දුලිප්ගේ අරමුණ අප්‍රේල් මාසය වන විට ඕමානයට එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමයි. නියම කළමනාකරුවන් තම කණ්ඩායම මෙහෙයවන්නේ එලෙසය. ඔවුන් තම වගකීම ඉටු කරන්නේ කණ්ඩායම ජයග්‍රහණ වෙත මෙහෙය වීමෙනි. එසේ නොමැතිව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් නොවේ.
අපට දුලිප්ගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝ ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ඔහු සැබෑ මහත්මයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ විශිෂ්ටයා දුලිප්.. ඔබ සැබැවින්ම විශිෂ්ටතමයෙකි..
ඔබට ආයු බෝ වේවා!!!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<