SLC වෙතින් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තෑග්ගක්

364

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සමඟින් වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව එම ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුම යටතේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ඇති පැති පුහුණුතීරු, ගෘහස්ථ දැල් පුහුණු, කායවර්ධන මධ්‍යස්ථානය, පිහිනුම් තටාකය සහ එම ක්‍රීඩා සමාජ නේවාසිකාගාර පහසුකම් ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, “ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය හරහා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ මට්ටමේ දක්ෂතාවලින් යුතු ක්‍රීඩිකාවන් බිහි කිරීමේ වැඩි ඉඩ කඩක් විවර වනවා” යනුවෙන් සඳහන් කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සමඟ ඇතිකරගත් එම ගිවිසුම අනුව 2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට, සංවර්ධන සංචිතයේ පසුවන ක්‍රීඩිකාවන්ට සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන්ට සිය පුහුණුවීම් කටයුතුවල නියැළීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

“ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සමගාමීව අපගේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක අවශ්‍යතාවය අත්‍යාවශ්‍යව තිබෙනවා. ඒ අනුව මෙම ගිවිසුම යටතේ අපේ කාන්තා ක්‍රීඩාව ඉහළ තලයකට පැමිණේවි” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉදිරි කාලසීමාව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා කාර්යය බහුල සීමාවක් වන බැවින් එම තරග සඳහා ක්‍රීඩිකාවන්ට සූදානම් වීමේ දී  අලුතින් පිහිටුවන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වැඩි දායකත්වයක් ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින කාන්තා ක්‍රිකට් මෙහෙයුම් සහ සංවර්ධන උපදේශක මනුජ කාරියප්පෙරුම මහතා, “නව පහසුකම හඳුන්වා දීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික පුහුණුව මෙන්ම නිපුණතා පුහුණුව කාලය විශාල ලෙස වැඩිවී තිබෙන බවයි. එය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතයට බෙහෙවින් ඉවහල් වනු ඇත” යි යනුවෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<