ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ තෙවැනි මට්ටමේ පුහුණුව සාර්ථකයි

242
???

මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දේශීය පුහුණුකරුවන්ගේ ඉහළම මට්ටම ලෙසින් සැලකෙන තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (SLC Level 3) ඉකුත් දා අතිසාර්ථකව පවත්වා අවසන් කෙරුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු වැඩසටහනට සමගාමීව මෙම තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් වැඩිදියුණු කරමින් පවත්වන ලද මෙම නව වැඩසටහනට, ඉහළ කාර්යය සාධන සංස්කෘතිය (High Performance Culture), කණ්ඩායම් සන්නාමය (Team Branding), මානසික කුසලතා (Mental skills), නිපුණතා අනුවර්තනය (Skill Adaptability), ජෛව-යාන්ත්‍ර විද්‍යාව (Bio-Mechanics) වැනි ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ දැනුම ගොඩ නැගීම කෙරෙහි සෘජුවම බලපානු ලබන මාතෘකා පිළිබඳව අවධානය යොමු කරමින් පැවැත්වීම විශේෂයි.

ඊට අමතරව පන්දුවට පහර දීමේ දී මෙන්ම පන්දු යැවීමේ දී සිදු වන චලනයන්හි විශ්ලේෂණයන් සහ කාර්යය සාධනයේ විශ්ලේෂණයන් ද ඉහත කරුණුවලට අමතරව මෙම වැඩසටහනට ඇතුළත්. එම කරුණුවලට අමතරව, මාධ්‍ය සම්බන්ධතා හැසිරවීම සහ ගනුදෙනු කිරීම්, ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම්, තොරතුරු තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීම මෙන්ම ස්වයං අධ්‍යන කුසලතා වැඩිදියුණු කිරීම යනාදිය පිළිබඳව වූ පුහුණුව ද මෙහි දී ලබා දී තිබෙනවා.

“තෙවැනි ශ්‍රේණියේ මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අධ්‍යාපන අංශයේ විශිෂ්ට හඳුන්වා දීමක් ලෙස සඳහන් කරන්න පුළුවන්, පුහුණුකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරයේ සිදු කෙරෙන පුහුණු වැඩසටහන් හා සමගාමීව අප විසින් මෙම තෙවැනි ශ්‍රේණියේ පාඨමාලාව සකස් කර තිබෙනවා. ඒ අනුව මෙය අපේ පුහුණුකරුවන්ගේ දැනුම් මට්ටම දියුණු කිරීමට කදිම වේදිකාවක්,” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අධ්‍යාපන අංශයේ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා සඳහන් කර සිටියා.

මෙම අභිනව තෙවැනි ශ්‍රේණියේ පුහුණුකරු පාඨමාලාව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දින 5ක නේවාසික වැඩසටහනක් ලෙසින් පැවති අතර ඒ සඳහා දිස්ත්‍රික්, පළාත්, සමාජ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය ආවරණය වන පරිදි වූ පුහුණුකරුවන් 19 දෙනෙකු සහභාගී වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරණ අධ්‍යාපන ඒකකයේ හේෂාන් ද මෙල් මහතාට අමතරව, නැගීඑන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුවන් කල්පගේ, අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් සහ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු චමිල ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක කෞෂල්‍ය ගජසිංහ, පරිගණක දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂණ, ඉහළ කාර්යය සාධන අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගෝ යන මහත්වරුන් මෙම වැඩසටහනේ සෙසු උපදේශකයින් ලෙසින් කටයුතු කළා.

2008 වසරේ දී ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අධ්‍යාපන ඒකකය මේ වන විට 0 වන මට්ටමේ සිට ඉහළම මට්ටම වන තෙවැනි මට්ටම දක්වා වූ මූලාශ්‍ර මට්ටමක් 4ක් ඔස්සේ අංග සම්පූර්ණ පුහුණුකරුවන් පුහුණු කිරීමේ ඒකකයක් දක්වා අතිශය සාර්ථක දියුණුවක් පුහුණුකරුවන් වෙත ලබා දෙමින් සිටිනවා.

මෙම ඒකකය ස්ථාපනය කිරීමට පෙර පුහුණු වැඩසටහන් පැවැත්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ සඳහා විදෙස් පුහුණුකරුවන්ගේ සම්පත් දායකත්වය සහ සේවය ලබා ගැනීමට සිදු වූ නමුත්, වර්තමානය වන විට එය පුහුණු අධ්‍යාපන ඒකකයේ සිටින දේශීය පුහුණුකරුවන් විසින්ම සිදු කිරීම මෙම පුහුණුකරණ අධ්‍යාපන ඒකකය ලබා තිබෙන සුවිශේෂී වටිනාකමක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<