2018 වසරේ එළිපත්තට අපි පැමිණ සිටිමු. ගෙවී යන වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නම් එතරම් තෘප්තිමත් වසරක් නොවූ බව මෙරට ක්‍රිකට් පරිපාලකයන් හැර අන් සියලු දෙනාම පාහේ පිළිගන්නා සත්‍යයකි.
මෙරට ක්‍රිකට්ලෝලීන් හට ආඩම්බරයෙන් කතා කිරීමට වැඩිම අවස්ථාවක් ලැබුණු සිදුවීම ගයාන් සේනානායක විරාත් කෝලිගේ විවාහ උත්සවයට සහභාගී වීම බව යමෙක් තර්ක කළ හොත් ඊට විරුද්ධ වීමට තරම් තර්කයක් අසලට වත් තැබිය හැක්කේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තානයට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය පමණකි. ගෙවී යන වසරේ ක්‍රිකට් පිටියේ ධනාත්මක සහ සෘණාත්මක සිදුවීම් කිහිපයක් දෙස සිදු කෙරෙන විමර්ශනාත්මක නැවත හැරී බැලීමකි මේ.
දකුණු අප්‍රිකාව සමඟ මේ වසර ආරම්භයේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරග දෙකෙන්ම ශ්‍රී ලංකාවට අත් වුනේ පරාජයයි. ඒ අතරින් පළමු තරගය දින 4 ක් තුළ අවසන් වූ අතර අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක ජයක් වාර්තා කිරීම සඳහා දකුණු අප්‍රිකානුවන්ට ගත වුනේ දින තුනක් පමණයි. ඉන් අනතුරුව මෙරට දී බංග්ලාදේශය සමඟ සාර්ථක ටෙස්ට් තරගාවලි ආරම්භයක් සනිටුහන් වුවද එම තරගාවලියේ දෙවන තරගය අවසන් වුනේ බංග්ලාදේශයට තම 100 වන ටෙස්ට් තරගය සඳහා ජයග්‍රහණයේ ත්‍යාගයකුත් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයක් පරාජය වීමේ අවමානයත් තම මව්බිමේ දී ම හිමි කර දෙමිනුයි.
මේ අනුව 2017 වසරේ දෙවන ටෙස්ට් තරගාවලියත් ජයග්‍රාහීව අවසන් කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ නැත. ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට නැවත පැමිණි සිංහ ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන්නේ එවක දුර්වලම ටෙස්ට් කණ්ඩායම වූ සිම්බාබ්වේ අභියෝගයටයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට උදා වන්නේ අතිශයින්ම අමතක කර දැමිය යුතු මට්ටමේ තරගාවලියක්. මෙරටට පැමිණි ඉන්දියානුවන් ටෙස්ට් තරග තුනම ජය ගත්තේ ශ්‍රී ලංකා පරාජයේ අවමන් සහගතභාවය තරගයෙන් තරගයට වර්ධනය කරමිනුයි. පළමු තරගය ලකුණු 304කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගය ඉනිමකින් සහ ලකුණු 53කින් ද තෙවන සහ අවසන් තරගය ඉනිමකින් සහ ලකුණු 171කින් ද පරාජය විය.
වසරේ අවසන් භාගය වන විට යම්කිසි ජීවයක් ලද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසය වෙනස් කරන ආකාරයේ තරගාවලියක් ආරම්භ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී යි. කිසිවෙක් නොසිතූ පරිද්දෙන් එහි පැවති ටෙස්ට් තරග දෙකෙන්ම පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට හිතේ හැටියට සතුටු විය හැකි පළමු සහ එකම අවස්ථාව සනිටුහන් කළා.

2017 වසරේ එක්දින ජයග්‍රහණයක පහස විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හරියටම වසරෙන් කාලක් අවසන් වන තුරු බලා සිටින්නට සිදු විය. ඔවුන් අප්‍රේල් පළමුවෙනිදා බංග්ලාදේශය මෝඩයාට අන්දා ගන්නට සමත් වුනේ තරග 7ක් ජයග්‍රහණයකින් තොරව නිමා කිරීමෙන් පසුවයි. ඊට දකුණු අප්‍රිකාව හමුවේ ලද තරග 5-0ක පූර්ණ තරගාවලි පරාජයක් ද ඇතුලත් විය. උඩ පන්දු ආකාරයෙන් ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඉදිරි ගමන අතහැර දැමූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කර ගත්තේ මව්බිම තුළ දී ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ එක්දින තරගාවලි පරාජයක කටුක අත්දැකීම විඳ ගනිමිනුයි.

ඉන්දීය තරග සංචාරයේ පළමු එක්දින තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පූර්ණ තරගාවලි පරාජයක් යාන්තමින් වළක්වා ගත්ත ද, ඉතිරි තරග දෙක ජය ගත්තේ ඉන්දියාවයි. මේ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ 2017 වසර එකඳු තරගාවලි ජයග්‍රහණයකින් හෝ තොරව අවසන් වෙද්දී මේ වසරේ සහභාගී වූ තරග 29කින් ඔවුන් ජය ගැනීමට සමත් වුනේ තරග 5ක් පමණි. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී පරාජයන් 23කට මුහුණ දීමට ඔවුන්ට සිදු වී තිබේ.
පන්දුවාර 20 තරග බිමේ දී ශ්‍රී ලංකාවට 2017 වසර මිශ්‍ර අත්දැකීම් පිරි වසරක් විය. දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 2-1ක් ලෙස තරගාවලි ජයග්‍රහණ වාර්තා කළ ඔවුන් නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයන් කරළියට පැමිණීමේ ආශ්වාදය ද විඳ ගන්නට සමත් විය. කෙසේ වෙතත් බංග්ලාදේශය සමඟ පළමු පන්දුවාර 20 තරගය ජය ගැනීමෙන් පසු මේ වසරේ ඉතිරි තරග 8ම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 2017 T-20 දක්ෂතා සටහන් වුනේ ජයග්‍රහණ 5ක් සහ පරාජ 10ක් ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගෙවී යන වසර තුළ සොයා ගැනීමට අපහසු වුනේ ජයග්‍රහණ පමණක් නොවේ. කණ්ඩායමට ස්ථීර නායකයෙක් සොයා ගැනීම ද කළුණික සොයන්නාක් බඳු විය. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට සමු දීමත් සමඟ 2017 වසරේ ශ්‍රී ලංකාව මෙහෙයවූ ක්‍රීඩකයන් මෙසේ දැක්විය හැක,
*ඇන්ජලෝ මැතිව්ස්
*දිනේෂ් චන්දිමාල්
*රංගන හේරත්
*උපුල් තරංග
*ලසිත් මාලිංග
*චාමර කපුගෙදර
*තිසර පෙරේරා
රිලවුන් සහ ගිරවුන් සම්බන්ධ කතා බහ, විනය කඩ කිරීම්, කණ්ඩායමේ ස්ථානයක් නැති නායකයන් සහ උප නායකයන්, තරගාවලියෙන් තරගාවලියට විවිධ නවක ක්‍රීඩකයන් අත්හදා බැලීම්, ගිලිහුණු උඩපන්දු වැනි මාතෘකා වරින් වර ක්‍රිකට් කරළිය උණුසුම් කරද්දී සනත් ජයසූරිය ප්රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස්වීම මේ වසර තුළ ක්‍රිකට් ආයතනය තුල සිදු වූ ප්‍රධානතම පෙරළියකි.


ඉන්දියාව සමඟ කල්කටා හී පැවති පළමු ටෙස්ට් තරගයේ දී දික්වැල්ල දැක්වූ තරග අවබෝධය උපායේ දක්ෂයෙකු වන විරාත් කෝලි පවා මුලා කරන සුලු විය. කෝලි ඇතුළු ක්‍රීඩකයන් 11 දෙනෙකුට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්රමුඛ විනිසුරු මඩුල්ල නියෝජනය කරන නයිජල් ලෝං ඇතුළු විනිසුරුවන් දෙපලකටත් හඳුනාගත නොහැකි වූ නීති විරෝධී පන්දු රකින්නන් ස්ථානගත කිරීමක් සොයා ගත්තා පමණක් නොව ඔවුන්ට ඉහළින් හයේ පහරක් එල්ල කර, විනිසුරුවන්ට නීතිය මතක් කර දෙන්නට දික්වැල්ල සමත් වුනේ ඉන්දීය කණ්ඩායම අතැතිව තිබූ තරගයේ ග්‍රහණය ලිහිල් කරන්නට ද පොටක් පාදා ගනිමිනි. එසේ නොවන්නට එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමට ඉහළ ඉඩ කඩක් පැවතුණි.

සිය පළමු පුහුණු සැසියේ දී ම, පිතිකරුවන්ට වැරෙන් පන්දුවට පහර දීමට පන්දු යැවීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කරවූ හතුරුසිංහ, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩකයන්ගේ විනය තමන් පළමු ස්ථානයේ ලා සලකන බවයි. බොහෝ ක්‍රීඩාලෝලීන් හොර රහසේම හකුලා ගත් සිංහ කොඩි නැවත ඉහළ නංවන්නටත්, නිහඬ වූ පපරේ සංගීතය නැවත ලොව පුරා ක්‍රීඩාංගණ සිසාරා රැව් පිලි නන්වන්නටත් හතුරුසිංහ ඇතුළු සිංහ ක්‍රිකට් බලකායට හැකි වේවා යන්න මෙරට ක්‍රීඩාවට හිතැති සැමගේ මෙන්ම ThePapare.com අපගේ ද එකම පැතුමයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















