ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඔලිම්පික් බලාපොරොත්තු

Paris Olympics 2024

108

2024 පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වෙන්න තවත් මාසයකට ආසන්න කාලයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසාම මේ වෙද්දීත් ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබාගන්න මලල ක්‍රීඩක/ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම විශාල උත්සාහයක නිරත වෙමිනුයි ඉන්නේ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ඔලිම්පික් බලාපොරොත්තු තබා ගෙන ඉන්න ප්‍රධානතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස තරුෂි කරුණාරත්න, නදීශා ලේකම්ගේ, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, යුපුන් අබේකෝන් සහ රුමේෂ් තරංග යන ක්‍රීඩකයින් හඳුනාගන්න පුළුවන්. 

අද ලිපියෙන් ඉහත නම් සඳහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වත්මන් තත්වය, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව සහ ඔවුන්ගේ ඉසව්වල ලෝක මට්ටමේ ස්වභාවය ගැන පැහැදිලි කිරීමක් සිදු කරන්න අපි සූදානම්. 

තරුෂි කරුණාරත්න  

පසුගිය දා ස්පාඤ්ඤයේ පැවැත්වුණු Bilbao Reunion මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තරුෂි විසින් කාන්තා මීටර් 600 ඉසව්ව නියෝජනය කරමින් මිනිත්තු 1.24.84ක කාලයක් සමඟින් ඉසව්වේ දෙවැනි ස්ථානය වාර්තා කර ගැනීමට සමත් වුනා. 

මේ ජයග්‍රහණයත් සමඟින් තරුෂි කාන්තා මීටර් 800 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල බොහෝ ඉදිරියට පැමිණීමට සමත් වුනා. ඒත් එක්කම වගේ තරුෂි ඔලිම්පික් සුදුසුකම් ලබාගත්තු බවට ලාංකේය සමාජ මාධ්‍යවල විශාල වශයෙන් තොරතුරු පළ වුනා. නමුත් තවමත් තරුෂි නිල වශයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා නොමැති බව මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. 

තරුෂි මේ වන විට කාන්තා මීටර් 800 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 57 වැනි ස්ථානයේ රැඳෙන අතරේ, මෙවර ඔලිම්පික් උළෙල සඳහා එම ඉසව්වෙන් ක්‍රීඩිකාවන් 48 දෙනෙකුට සහභාගී වීමට අවකාශය හිමි වනවා. 

කෙසේ වෙතත් එක් රටකින් මෙම ඉසව්වට සහභාගී විය හැකි වන්නේ උපරිම ක්‍රීඩිකාවන් තිදෙනෙකුට පමණක් වන නිසා ලෝක ශ්‍රේණිගත කිරීම් හි තරුෂිට ඉදිරියෙන් පසුවන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ම මෙවර ඔලිම්පික් උළෙල අහිමි ව යනු ඇති.* 

*.උදාහරණයක් ලෙස මෙම ලිපිය සම්පාදනය කරන මොහොතේ (22/06/2024) ඇමරිකානු ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ලෝක ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථාන 48 රැඳුනත් ඉන් ඔලිම්පික් වරම් හිමි වන්නේ තිදෙනෙකුට පමණයි. 

මේ අනුව ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රේණිගත කිරීම් හි තරුෂි මේ වන විට 47 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. නමුත් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇති කාලය නිමා වන්නේ එළඹෙන ජුනි මස 30 වැනිදායින් වන නිසා, ඒ වන විටත් තරුෂි මෙම මුල් ස්ථාන 48 තුළ රැඳුණ හොත් පමණක් ඇයට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති. එමෙන්ම එය එසේ වේ නම් නිල වශයෙන් දැනුම් දීමක් ද සිදු කෙරෙනු ඇති. 

මෙවර තරගවාරයේ දී තරුෂි විවිධ ජාත්‍යන්තර තරගවල දී මෙම ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු අතර, අවාසනාවන්ත ලෙස ඉන් සමහර තරග ඇයට නිමා කිරීමට හැකි වුනේ නැහැ. එවන් සිදුවීම් නොවන්නට ඇය මීටත් වඩා හොඳ ශ්‍රේණිගත කිරීම් ස්ථානයක් ලබා ගනීවි යැයි අපට අනුමාන කළ හැකි. 

මේ අතර මෙම සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රේණිගත කිරීම්වල 74 වැනි ස්ථානය ගයන්තිකා අබේරත්න හට හිමි වී ඇති අතර, ඇය ලෝක ශ්‍රේණිගත කිරීම් හි 106 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. 

යුපුන් අබේකෝන්  

පිරිමි මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් පරිසාධන මට්ටම ලෙස සටහන් වී ඇත්තේ තත්පර 10.00ක් වන අතර, මෙතෙක් එම පරිසාධන මට්ටමට ළඟා වීමට සමත් වී ඇත්තේ ක්‍රීඩකයින් 29 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්. මෙවර ඔලිම්පික් උළෙලේ දී ක්‍රීඩකයින් 56 දෙනෙකුට මෙම ඉසව්වට තරග වැදීමට හැකියි. යුපුන් අබේකෝන් විසින් මෙතෙක් කල් මෙම ඉසව්වේ දක්වා ඇති හොඳම දක්ෂතාව ලෙස තත්පර 9.96ක් සටහන් වී ඇති නමුත්, මෙවර තරගවාරයේ දී ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන් වී ඇත්තේ තත්පර 10.15ක් වැනි කාලයක්. මේ අනුව ඔහු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රේණිගත කිරීම් හි 78 වැනි ස්ථානයේ රැඳෙන අතර, ඉදිරි කාල සීමාව තුළ යුපුන්ට යම් වෙනසක් සිදු කිරීමට හැකි වේද යන්න තවමත් සහතික කළ නොහැකි නමුත් ඔහු වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි. 

නදීශා ලේකම්ගේ  

කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා මෙවර ඔලිම්පික් උළෙලේ දී ක්‍රීඩිකාවන් 32ක් ක්‍රීඩා කරන්න සූදානමින් සිටිනවා. කෙසේ වෙතත් මේ දක්වා ඔලිම්පික් පරිසාධන මට්ටම වෙන මීටර් 64 ඉක්මවා යන්න සමත් වෙලා තියෙන්නේ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු පමණයි. ඔලිම්පික් සුදුසුකම් ලැබීම වෙනුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල නදීශාගේ නම සටහන් වෙන්නේ 30වැනි තැන. ඒ වගේම ලෝක ශ්‍රේණිගත කිරීම්වල නම් 31 වැනි තැන. ඒ නිසා ඉදිරි දින කිහිපයේ මේ ශ්‍රේණිගත කිරීම්වල විශාල වෙනසක් සිදු නොවුනොත් නදීශාටත් ඔලිම්පික් හීනය හැබෑ කරගන්න ඉතා ඉහළ අවස්ථාවක් තියෙනවා. 

කාලිංග සහ අරුණ  

පිරිමි මීටර් 400 ඉසව්වේ දී මෑත කාලීන ව ශ්‍රී ලංකාවේ ප්‍රබලතම බල කණු දෙකක් තමයි අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ කියන්නේ. මේ දෙදෙනා දැනට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීම්වල පිළිවලින් 53 සහ 54 කියන ස්ථානවල රැඳිලා ඉන්නවා. 

නමුත් මෙවර ඔලිම්පික් උළෙල සඳහා පිරිමි මීටර් 400 ඉසව්වට තෝරා ගන්නේ ක්‍රීඩකයින් 48 දෙනෙක් පමණයි. ඒ නිසා මේ දෙදෙනාට ම ඉදිරි දින කිහිපයේ දී තවත් උත්සාහ කරන්න වෙනවා ඔලිම්පික් සුදුසුකම් ලබා ගන්න නම්. ශ්‍රේණිගත කිරීම්වලින් තොරව පරිසාධන මට්ටම ඉක්මවමින් ඔලිම්පික් යනවා නම් මේ දෙන්නා ම තත්පර 45ක් හෝ ඊට අඩු කාලයකින් තමන්ගේ ඉසව්ව නිමා කළ යුතුයි. මේ දෙදෙනා ම ඒ ආසන්නයේ හිටියත් තවමත් පරිසාධන මට්ටමේ ඉක්මවන්න සමත් වෙලා නැහැ. 

ඉතින් කාලිංග සහ අරුණ දෙදෙනාට ම පුළුවන් නම් මේ කඩඉම තරණය කරන්න එකම ඔලිම්පික් ඉසව්වකින් ශ්‍රී ලාංකික නියෝජනයන් දෙකක් දැක බලා ගැනීමේ විරල අවස්ථාවක් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට උදා වෙන්නත් ඉඩක් තියෙනවා. 

ගයන්තිකා අබේරත්න  

කාන්තා මීටර් 800 ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල 74 වැනි ස්ථානයේ පසුවන ගයන්තිකා කාන්තා මීටර් 1500 ඉසව්වේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීම්වල 73 වැනි ස්ථානයේයි රැඳෙන්නේ. (ලෝක ශ්‍රේණිගත කිරීම්වල නම් 123 වැනි ස්ථානයේ) 

රුමේෂ් තරංග 

පසුගිය සති අන්තයේ දී ආසියානු විසිකිරීමේ ශූරතාවලියට සහභාගී වුන යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග විසින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමන්න සමත් වුනේ මීටර් 85.45ක දුරක් හෙල්ල විසි කරමිනුයි. 

මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් පිරිමි හෙල්ල විසි කිරීමේ පරිසාධන මට්ටම ලෙස සටහන් වෙලා තියෙන්නේ මීටර් 85.50ක්. රුමේෂ්ට පැරිස් ඔලිම්පික් සඳහා සෘජු සුදුසුකම් ලබාගන්න තිබුණු අවස්ථාව අහිමි වුනේ සෙන්ටි මීටර පහක් වගේ ඉතා සුළු පරතරයකින්. 

මෙම තරගවාරයේ ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතා අතර රුමේෂ්ගේ නම 9 වැනි ස්ථානයේ සටහන් වෙලයි තියෙන්නේ. 

ඒ නිසා එළඹෙන ඔළිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වෙන්න රුමේෂ්ට අවස්ථාවක් හිමි වේවි ද කියලත් අපිට නුදුරේ දීම දැන ගැනීමට හැකි වේවී. 

මීට අමතරව කාන්තා මීටර් 400 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් මෙවර ඔලිම්පික් සුදුසුකම් ලැබීමට නියමිත ව සිටිනා අතරේ, ශ්‍රී ලංකාවේ නදීශා රාමනායක ශ්‍රේණිගත කිරීම්වල 61 වැනි ස්ථානයේ රැඳිලා ඉන්නවා. 

මේ ආකාරයට තමයි මේ වන විට 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවට ඉතිරි වෙලා තියෙන බලාපොරොත්තු පිළිබඳ හඳුන්වා දෙන්න හැකි වෙන්නේ. 

එළඹෙන ජුනි 25, 26 සහ 27 යන දින වල දී දියගම දී පැවැත්වීමට නියමිත 102 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලිය මඟින් ඉහත සඳහන් කළ ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සුදුසුකම් ලැබීම වෙනුවෙන් නැවතත් අවස්ථාවක් උදා වීමට නියමිතයි. එම ශූරතාවලිය පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න වගේම, ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු පිළිබඳවත් ඔබ දැනුවත් කරන්න ThePapare නිරන්තරයෙන් ම සූදානමින් පසු වනවා. 

රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

*ලිපියේ සඳහන් සියලු ශ්‍රේණිගත කිරීම් සහ දක්ෂතා දත්ත 22/06/2024 යන දිනට අදාළ ඒවා බව සැලකිය යුතුයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<