2023 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 11ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අද (15) සමත් වුනා.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ සමත් වූ අතර ඔහු විසින් ඇෆ්ගනිස්තානයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.
මෙහි දී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ බිනුර ප්‍රනාන්දු සහ ලහිරු සමරකෝන් විසින් ඇෆ්ගන් ආරම්භක පිතිකරු යුගලයට ඉතා හොඳ තර්ජනයක් එල්ල කිරීමට සමත් වුනා. ලහිරු විසින් ඇෆ්ගන් ඉනිමේ පළමු කඩුල්ල ලෙස Zubaid Akbariව එක් ලකුණකට දවා ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව ඇෆ්ගන් කඩුලු ඉක්මනින් බිඳ නොවැටුණ ද ලහිරු සහ බිනුර යුගලය විසින් ඉතා හොඳින් පන්දු යැවීමේ නිරත වුනා.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය සෙමෙන් සිය ඉනිම ස්ථාවර කර ගැනීමට සමත් වුනා. වරෙක ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 159ක් වාර්තා කරගෙන සිටි අතර ඒ මොහොතේ ක්‍රියාත්මක වූ චාමික කරුණාරත්න විසින් ලකුණු 82ක් ලබා සිටි Riaz Hassanව දවා ගැනීමට සමත් වුනා.
ඉන්පසු ඇෆ්ගනිස්තානයට පහසුවෙන් ලකුණු ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සිය ග්‍රහණය තවත් දැඩි කරමින් පන්දු යැවුවා.
ඒ අනුව නියමිත පන්දුවාර 50 නිමා වන විට ඇෆ්ගනිස්තානය විසින් කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 252ක් පමණයි.
මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Raizට අමතරව Noor Ali Zadran විසින් අර්ධ ශතකයක් ලබා ගනිමින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ඉහළ සාර්ථකත්වයක් පෙන්වීමට සමත් වූ චාමික කරුණාරත්න විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඊට අමතරව ලහිරු සමරකෝන් සහ දුශාන් හේමන්ත අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. එමෙන්ම දුනිත් වෙල්ලාලගේ සහ බිනුර ප්‍රනාන්දු විසින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.
- අවිශ්කගේ ශතකයත් සමඟින් ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණයට
- නැගීඑන ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී
- ලෝක ටෙස්ට් ශූරතාවලියේ මංගල උරගා බැලීම
- මියැදෙන ටෙස්ට් ක්රිකට් වෙනුවෙන් දිමුත් හඬ නගයි
- ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට
ඇෆ්ගනිස්තානය විසින් ලබා දුන් ඉලක්කය බැලූ බැල්මට ම තරමක් පහසු එකක් බව පෙනී ගියත් එය එසේ නොවන බව ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ දී ම පෙනී ගියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා සිටිය දී සහ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 7කට පිටියෙන් ඉවත් කිරීමට Mohammad Ibrahim විසින් සමත් වුනා.
එතෙකින් ද නොනැවතුනු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් ලකුණු 102ක් වන විට දවා ගැනීමට සමත් වුනේ තරගයේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඈත් කරමිනුයි.
මෙහි දී අශේන් බණ්ඩාර සහ නායක දුනිත් වෙල්ලාලගේ විසින් පිළිවෙළින් ලකුණු 19ක් සහ 21ක් ලබා ගනිමින් පිටියේ ස්ථාවර වීමට උත්සාහ කළත්, ඔවුන් සාර්ථක වුනේ නැහැ.
කෙසේ වෙතත් කණ්ඩායමේ අංක තුන ස්ථානයේ පිතිකරණයේ යෙදීමට පිටියට පිවිසුණු මිනෝද් භානුක සිය කඩුල්ල පූජා නොකර එක් අන්තයක් රැක ගනිමින් නොදැවී සිටීමට සමත් වූ අතර ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස චාමික කරුණාරත්න පිටියෙන් ඉවත් වීමෙන් පසු පිටියට පිවිසි දුශාන් හෙමන්ත විසින් මිනෝද් සමඟින් නැවත ශ්‍රී ලංකා ඉනිමට ජීවය ලබා දීමට සමත් වුනේ කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ අයුරෙනුයි.
ඔවුන් දෙදෙනා විසින් පන්දු 106ක් තුළ ලකුණු 98ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර දුශාන් හේමන්ත ලකුණු 31කට දැවී යාමත් සමඟ එම සබඳතාව නිමා වුනා. ඒ වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 200ක් ලබා සිටි අතර මිනෝද්ගේ සහයට ලහිරු සමරකෝන් පිටියට පිවිසුණා. ලහිරු සහ මිනෝද් විසින් 9 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 29ක් එක් කිරීමට සමත් වුනේ තරගය තවමත් දෙපිලට ම විවෘත එකක් බවට ඉඟි සපයමිනුයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පන්දුවේ සිට සිය ඉනිම ආරම්භ කළ මිනෝද් භානුකව අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කිරීමෙන් පසුව ලකුණු 119කට දවා ගැනීමට Mohommad Saleem විසින් සමත් වුනේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්වය 229ක් වන මොහොතේ දීයී.
මිනෝද් විසින් සිය ඉනිම වෙනුවෙන් වැය කළේ පන්දු 103ක් පමණක් වූ අතර, දිගින් දිගටම කඩුලු බිඳ වැටුණු ඉනිමක ප්‍රහාරාත්මක වේගය 115ක් වැනි අගයක රඳවා තබා ගනිමින් ඔහු විසින් දියත් කළ මෙම ඉනිමට විශේෂ අගය කිරීමක් ලැබිය යුතුමයි.
මිනෝද් ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමඟ තරගයේ වැඩි වාසි ඇෆ්ගනිස්තානය දෙසට හැරුණ නමුත් ලහිරු සමරකෝන් ඒ වන විටත් සිය බලාපොරොත්තු අත් හැරීමට සූදානම් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.
ශ්‍රී ලංකා ඉනිමේ 39 වැනි පන්දුවාරය ආරම්භ වන විට ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 24ක් අවශ්‍ය ව තිබූ අතර එම පන්දුවාරයේ දෙවැනි සහ සිව්වැනි පන්දු දෙකට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ ලහිරු විසින් ලබා ගත යුතු ඉලක්කය ලකුණු 12ක් දක්වා අඩු කිරීමට සමත් වුනා.
එම පන්දුවාරයේ පස්වැනි පන්දුවට ද දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ලහිරු විසින් උත්සාහ ගත් නමුත් එවර එම පන්දුව හයේ සීමාව අතික්‍රමණය කිරීමට පෙර උඩපන්දුවක් ලෙස රැක ගැනීමට Mohommad Saleem සමත් වුනේ ඇෆ්ගනිස්තානයට ලකුණු 11ක තියුණු ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Mohommad Ibrahim විසින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zubaid Akbari | c Pasindu Sooriyabandara b Lahiru Samarakoon | 1 | 3 | 0 | 0 | 33.33 |
Riaz Hassan | c & b Chamika Karunarathne | 82 | 104 | 11 | 0 | 78.85 |
Noor Ali Zadran | c Minod Bhanuka b Dushan Hemantha | 53 | 62 | 5 | 1 | 85.48 |
Shahidullah | b Chamika Karunarathne | 23 | 32 | 1 | 0 | 71.88 |
Bahir Shah | c Nuwanidu Fernando b Avishka Fernando | 15 | 15 | 0 | 1 | 100.00 |
Ikram Alikhil | not out | 34 | 44 | 0 | 0 | 77.27 |
Sharafuddin Ashraf | c & b Dunith Wellalage | 19 | 27 | 2 | 0 | 70.37 |
Zia ur Rehman | c Minod Bhanuka b Dunith Wellalage | 4 | 2 | 1 | 0 | 200.00 |
Mohammad Ibrahim | c & b Chamika Karunarathne | 5 | 8 | 1 | 0 | 62.50 |
Mohammad Saleem | c Ashen Bandara b Binura Fernando | 2 | 5 | 0 | 0 | 40.00 |
Extras | 14 (b 1 , lb 1 , nb 2, w 10, pen 0) |
Total | 252/9 (50 Overs, RR: 5.04) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 8 | 0 | 35 | 1 | 4.38 | |
Lahiru Samarakoon | 7 | 2 | 25 | 2 | 3.57 | |
Dunith Wellalage | 10 | 0 | 47 | 1 | 4.70 | |
Chamika Karunarathne | 8 | 0 | 56 | 3 | 7.00 | |
Dushan Hemantha | 10 | 0 | 54 | 2 | 5.40 | |
Sahan Arachchige | 7 | 0 | 33 | 0 | 4.71 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Fernando | lbw b Mohammad Ibrahim | 0 | 1 | 0 | 0 | 0.00 |
Lasith Croospulle | b Mohammad Ibrahim | 7 | 7 | 1 | 0 | 100.00 |
Minod Bhanuka | c Bahir Shah b Mohammad Saleem | 119 | 103 | 17 | 1 | 115.53 |
Pasindu Sooriyabandara | lbw b Mohammad Ibrahim | 0 | 2 | 0 | 0 | 0.00 |
Sahan Arachchige | c Bahir Shah b Mohammad Ibrahim | 3 | 6 | 0 | 0 | 50.00 |
Ashen Bandara | run out (Ikram Alikhil) | 19 | 23 | 4 | 0 | 82.61 |
Dunith Wellalage | c Ikram Alikhil b Mohammad Saleem | 21 | 18 | 3 | 1 | 116.67 |
Chamika Karunarathne | lbw b Zia ur Rehman | 2 | 8 | 0 | 0 | 25.00 |
Dushan Hemantha | c Zubaid Akbari b Sharafuddin Ashraf | 31 | 53 | 3 | 0 | 58.49 |
Lahiru Samarakoon | c Mohammad Saleem b Zia ur Rehman | 16 | 14 | 0 | 2 | 114.29 |
Binura Fernando | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 23 (b 0 , lb 2 , nb 3, w 18, pen 0) |
Total | 241/10 (38.5 Overs, RR: 6.21) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohammad Ibrahim | 8 | 0 | 52 | 4 | 6.50 | |
Bilal Sami | 4 | 0 | 30 | 0 | 7.50 | |
Mohammad Saleem | 8 | 0 | 47 | 2 | 5.88 | |
Zia ur Rehman | 7.5 | 1 | 44 | 2 | 5.87 | |
Riaz Hassan | 1 | 0 | 8 | 0 | 8.00 | |
Sharafuddin Ashraf | 8 | 0 | 47 | 1 | 5.88 | |
Zubaid Akbari | 2 | 0 | 11 | 0 | 5.50 |
කෙසේ වෙතත් පරාජිත ශතකයක් රැස් කළ මිනෝද් භානුක තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්.
තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වුණු මෙම තරගයේ තීරණයෙන් අනතුරුව තරගාවලියේ සහභාගී වූ තරග දෙක ම ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම A කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුනා.
එමෙන්ම අද පැවැත්වුණු ඕමාන A සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර තරගය ජයග්‍රහණය කළ බංග්ලාදේශය මෙම ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කරගැනීමට සමත් වී තිබෙන්නේ ශ්‍රී ලංකා A කණ්ඩායමට එහි තෙවැනි ස්ථානය උරුම කර දෙමිනුයි.
ඒ අනුව තරගාවලියේ ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට නම් එළඹෙන අඟහරුවාදා (18) ශ්‍රී ලංකා A සහ ඕමාන A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වී තිබෙනවා. එමෙන්ම එදින ම පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන A සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර තරගයේ තීරණය ද ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි අනුමාන කළ හැකි.
මේ අතර මෙම තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග ද්විත්වයක් එළඹෙන සඳුදා (17) පාකිස්තාන A සහ එක්සත් අරාබි එමීර් A කණ්ඩායම් අතරත්, ඉන්දියා A සහ නේපාල කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<