අවසන් තරඟයත් ජය ගත් කොදෙව්වෝ පූර්ණ ජයක් ලබති

511
Sri Lanka vs West Indies, Unofficial Third One Day Match, October 30, 2016

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුනු තෙවන නිල නොවන එක්දින තරඟය අද (30) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී නිමාවට පත්විය. මෙම තරඟය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 8කින් ජයග්‍රහණය කල කොදෙව් කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කළේය.

පසුගිය ලිපි: කොදෙව්වන්ට යළිත් දැවැන්ත ජයක්

කාසියේ වාසිය ලබා ගත් කොදෙව් කණ්ඩායම පළමුව පිතිකරණයට අවස්ථාව ලබා ගන්නා ලදි.

වෙනදා මෙන්ම මෙම තරගයේ ද පළමු කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ චැඩ්වික් වෝල්ටන් හා කයිල් හෝප් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය අවසන් කරමින් හෝප් ලකුණු 7කට දැවීයන ලදී.

පන්දුවාර 15ක් වන විට කොදෙව් ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලෙස සටහන්ව තිබියදී පිටියේ සිව්වන කඩුල්ල සඳහා එක්වුණු නායක ජේසන් මොහොමඩ් හා ඇන්ඩෲ මැකාති පන්දුවාර 38ක් වන විට කොදෙව් ලකුණු පුවරුව ලකුණු 222ක් දක්වා ප්‍රබල තැනකට ගෙන ඒමට සමත් වූ අතර ලකුණු 163ක දැවැන්ත සබඳතාවයක් ඔවුන් දෙදෙනා විසින් ගොඩනංවන ලදී.

එම සාර්ථක සබඳතාවය අවසන් කරමින් 4 පහර 13ක් හා දැවැන්ත 6 පහර 3ක් සමඟ ලකුණු 102ක් ලබා සිටි ඇන්ඩෲ මැකාති නුවන් කුලසේකර යැවූ පන්දුවකට දැවීයන ලදි.

කොදෙව් ඉණිම තුළ අවසන් කඩුල්ල ලෙස දැවීගිය රොවුමන් පවෙල් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් විය.

කොදෙව් A කණ්ඩායම – 305/5 (47): ජේසන් මොහොමඩ් 105*, ඇන්ඩෲ මැකාති 102, චැඩ්වික් වෝල්ටන් 36, නුවන් කුලසේකර 2/65, සචිත් පතිරණ 1/45

පන්දුවාර 47ක් තුල ලකුණු 306ක දැවැන්ත ඉලක්කයක් හඹායාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපල වන සඳුන් වීරක්කොඩි හා ධනුෂ්ක ගුණතිලක, පළමු කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් ගොඩනංවන ලදි. සඳුන් පළමු කඩුල්ල ලෙස දැවීගිය අතර ඔහු ලකුණු 20ක් වාර්තා කිරීමට සමත් විය.

දෙවන තරගයේ දී ශතකයකින් කොදෙව්වන්ට සංග්‍රහ කල ශෙහාන් ජයසූරිය දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 18ක් ලබාගෙන සිටියදීය. ඔහුගේ කඩුල්ලේ අයිතිය හිමිවූයේ වීරසාමි පෙරමවුල් හටයි. ශ්‍රී ලංකා මුල්පෙළ ගොඩනැංවූ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 114ක් ලෙස සටහන් වෙද්දී තෙවන කඩුල්ල ලෙස 4 පහර 7ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 58ක් ලබා සිටියදී දැවීයන ලදි.

අනතුරුව ශ්‍රී ලංකා ඉණිමේ මැද භාගයේ දී සචිත් පතිරණ වේගවත් ඉණිමක් දියත් කල අතර ඔහු පන්දු 20කදී 4 පහර 3ක් හා 6 පහර 3ක් සමගින් ලකුණු 34ක් ලබා ගන්නා ලදී. නායක මිලින්ද සිරිවර්ධන ලකුණු 35ක් ලබා ගැනීමට 4 පහර 2ක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි.

තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ දී වේගවත්ව  පන්දුවට පහර දුන් දසුන් ශානක හා නුවන් කුලසේකර තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නම්මා ගැනීමට උත්සාහ කලද, එයට ආලෝකය හරස් වීම නිසා තරගයේ තීරණය ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය අනුව ලබා දෙන ලදි. ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි දසුන් ශානක 4 පහර 3ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 33*ක්ද, නුවන් කුලසේකර එක් 4 පහරක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 12*ක් ලබා සිටියේය. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයග්‍රහණයක් හිමිවිය.

ශ්‍රී ලංකා A කණ්ඩායම – 248 /07 (38): ධනුෂ්ක ගුණතිලක 58, මිලින්ද සිරිවර්ධන 35, සචිත් පතිරණ 34, දසුන් ශානක 33*, රොන්ස්ෆර්ඩ් බීටන් 2/38

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට