පන්දු යවන්නන්ගේ පිහිටෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම නැවතත් තරගයට

554
Sri Lanka A v Pakistan A

ශ්‍රී ලංකා A පිල සහ පාකිස්තානු A පිල අතර එංගලන්තයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට පකිස්තානු A පිල පළමු ඉනිම සඳහා කඩුළු 8 ක් දැවී ලකුණු 271ක් ලබා සිටියා. මේ අනුව ඔවුන් තවත් කඩුළු 2 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 28ක් පසුපසින් සිටියි.

ඊයේ දිනය ආරම්භ කරන විට පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 20ක් ලබාසිටි පාකිස්තානුවන්ගේ ආරම්භක සබඳතාව ලකුණු 56කට සීමා කළ, වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු, පිට පිට පන්දු 2 කදී කඩුළු 2 ක් දවාගැනීමට සමත් විය. සර්ජීල් ඛාන් ද ලකුණු 42 කට දැවී ගොස් ලකුණු පුවරුව 68/3 ක් ලෙස තිබියදී පිටියට එක්වූ නායක බාබර් අසාම් සහ උමාර් සිද්ධික් පකිස්තානු A ඉනිමට ස්ථාවරත්වයක් එක් කිරීමට සමත් විය.

පසුගිය ලිපි: හිමාෂගේ ශතකය රාගම ක්‍රීඩකයෝ අසරණ කරයි

අසාම් (62) සහ සිද්ධික් (39) සිවුවන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 84කි.

සචිත් පතිරණ මේ සබඳතාව බිඳ දැමීමත් සමග පාකිස්තානු A ලකුණු පුවරුව 212/7 ක් දක්වා කඩා වැටිනි.

නමුත් අනෙක් අන්තයේ කඩුලු දිගින් දිගටම ඇද වැටෙද්දී මොහොමඩ් නවාස් ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් ඔහු හසන් අලි සමග 8වන කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 36ක්. ෂෙහාන් ජයසුරිය හසන්ගේ කඩුල්ල දවාගනිමින් මේ සබඳතාව බිඳ දැමුවා. 8 වන කඩුල්ල දැවී යන විට පාකිස්තානු A කණ්ඩායම සිටියේ ශ්‍රී ලංකා A පළමු ඉනිමට වඩා ලකුණු 51 ක් පසු පසිනි.

අයහපත් ආලෝකය හේතුවෙන් දෙවන දිනයට තරගය නතර කරන විට පාකිස්තානු A කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 271ක් ලබා සිටියා. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරන මොහොමඩ් නවාස් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ ලකුණු 62 ක් ලබාගෙනයි.

පාකිස්තානු A පළමු ඉනිම – 271/8 (මොහොමඩ් නවාස් 62*, බාබර් අසාම් 61, සර්ජීල් ඛාන් 42, උමාර් සිද්ධික් 39, අශාන් ප්‍රියන්ජන් – 2/25, අසිත ප්‍රනාන්දු 2/42, සචිත් පතිරණ 2/54)

ශ්‍රී ලංකා A පළමු ඉනිම – 299 (මහේල උඩවත්ත 64, රොෂේන් සිල්වා 48,හසන් අලි 4/63, මොහොමඩ් නවාස් 2/35)

දෙවන දිනය අවසන් වනවිට පාකිස්තානු A කණ්ඩායම කඩුළු 2 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 28ක් පසුපසින් සිටිනවා.

අද තරගයේ 3 වන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට