පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි

Sri Lanka A tour of South Africa

245

පවන් රත්නායක ගේ වේගවත් ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් වුනා.

ඒ අනුව ඔවුන් තරග 2කින් සමන්විත නිල නොලත් සිවු දින ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කරනවා. දෙරට අතර පැවැති තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

Benoni හී Willowmoore Park ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයේ සිවු වැනි දිනය වූ අද දවස ආරම්භ වෙන්නේ තම 2 වැනි ඉනිමට ක්‍රීඩ කළ සත්කාරක දකුණු අප්‍රිකානුවෝ කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබා සිටිය දී යි.

ඔවුන් අද තම ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ව පවතිද්දී අත් හිටවූවා. එම ඉනිමේ දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ 21 හැවිරිදි වියේ පසු වෙන දකුණත් පිතිකරු Dewald Brevis. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා.

ඊට පෙර දිනයේ Dewald Brevis සමඟ නොදැවී ලකුණු 45ක් ලබා සිටි Jean du Plessis ට අද තම ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 3ක් පමණයි.

ඔවුන් දෙදෙනා ගේ දැවී යෑමෙන් අනතුරු ව Mihlali Mpongwana සහ Beyers Swanepoel ලකුණු 19ක් බැගින් තම කණ්ඩායමට එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 23කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ඊට අමතර ව මොහොමඩ් ශිරාස් සහ එශාන් මාලිංග කඩුලු 2ක් බැගින් ද සොනාල් දිනූෂ, ජනිත් ලියනගේ සහ වනුජ සහන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 253ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී යද්දී සපුරා ගත්තා. එම ඉනිම වෙනුවෙන් කැපී පෙණෙන මෙහෙවරක නිතර වූයේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු පවන් රත්නායක. අද ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකය වූ අතර එම ඉනිමත් සමඟින් ඔහු පළමු පෙළ තරග දිවියේ ලකුණු 2000 කඩඉම පසු කිරීමට ද සමත් වුනා.

ඔහු සමඟින් අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ නායක පසිඳූ සූරියබණ්ඩාර පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 14 වැනි අර්ධ ශතකයයි.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 136ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වෙනවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 32ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Prenelan Subrayen ලකුණු 108ක් කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Beyers Swanepoel ද කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 334 (92.1) Tshepang Dithole 27, Neil Brand නොදැවී 122, Marques Ackerman 37, Dewald Brevis 49, Beyers Swanepoel 34, Beyers Swanepoel 19, ඉසිත විජේසුන්දර 2/60, එශාන් මාලිංග 3/68, සොනාල් දිනූෂ 3/48

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 319 (90.5) ලහිරු උදාර 129, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 92, ඉසිත විජේසුන්දර 21, Prenelan Subrayen 6/64, Neil Brand 2/45

 

දකුණු අප්‍රිකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 238 (51.2) Tshepang Dithole 19, Jean du Plessis 48, Dewald Brevis 74, Mihlali Mpongwana 19, Beyers Swanepoel 19, මොහොමඩ් ශිරාස් 2/43, ඉසිත විජේසුන්දර 2/23, එශාන් මාලිංග 2/55

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 254 (41.3) ලහිරු උදාර 25, පසිඳු සූරියබණ්ඩාර 52, පවන් රත්නායක නොදැවී 116, Prenelan Subrayen 3/108, Beyers Swanepoel 2/30

 

ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

දෙස් විදෙස් පිටියේ ට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<