ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්රිකට් තරගය 2 වැනි දිනයට (19) නතර කරන විට සත්කාරක පාකිස්තාන A ක්රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටියා.
Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා A ක්රීඩකයෝ අද පෙරවරුවේ දී සියලුම දෙනා දැවී ලකුණු 310ක් ලබා ගත් අතර ඒ අනුව එම ඉලක්කය අභිබවා යෑමට නම් පාකිස්තානය තවත් කඩුලු 5ක් තුළ ලකුණු 98ක් ලබා ගත යුතුයි.
තරගය පළමු දිනයට නතර කරන විට ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 293ක් ලබා සිටි අතර අද ඔවුන් තම ඉනිමට එක් කර ගත්තේ ලකුණු 17ක් පමණයි.
පෙර දිනයේ නොදැවී ලකුණු 38ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටි ඉසිත විජේසුන්දර අද ශ්රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටි අතර 9 වැනි කඩුල්ලට ඔහු සහ සොනාල් දිනූෂ අතර සබඳතාව ලකුණු 61ක් බවට පත් ව තිබුණා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්රී ලංකා ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් පිටියට එක් වූ චාමික ගුණසේකර ලකුණු නොලබා ම දැවී ගිය අතර සොනාල් දිනූෂට අද දවසේ දී මුහුණ දීමට හැකි වෙන්නේ පන්දු 3කට පමණයි. ඒ අනුව ඔහු නොදැවී තම ඉනිම අවසන් කරද්දී පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 85ක් ලබා සිටියා.
ශ්රී ලංකා ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී Khurram Shahzad ලකුණු 30කට කඩුලු 6ක් ද සහ Ahmed Safi Abdullah ලකුණු 100කට කඩුලු 2ක් ද පෙර දිනයේ දවා ගත් අතර අද දවසේ දැවී ගිය කඩුලු 2, Kashif Ali සහ Ahmed Bashir අතරේ බෙදී ගියා.
- පසුපෙළින් හොඳ තල්ලුවක්
- IPL ක්රීඩක වෙන්දේසියට ශ්රී ලංකාවෙන් 19ක්
- පාකිස්තාන A කණ්ඩායමට කඩුලු 7ක ජයක්
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්රීඩකයින් තහවුරුයි
- A ගැටුමට එක් වෙන වීරයෝ
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන A කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 16ක් වෙද්දී දවා ගැනීමට ඉසිත විජේසුන්දර සමත් වුනා. ඊට ගොදුරු වෙන්නේ පන්දු 22ක දී ලකුණු 4ක් ලබා සිටි පාකිස්තාන නායක Muhammad Hurraira.
අනතුරු ව 2 වැනි කඩුල්ලේ දී ලකුණු 82ක සබඳතාවක් එක් කර ගැනීමට Ali Zaryab සහ Abdul Faseeh සමත් වුනා. නිපුන් ධනංජය ඔවුන්ගේ එම සබඳතාව බිඳ දමද්දී Ali Zaryab පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.
ඒ ආසන්නයේ ම Abdul Faseeh ගේ කඩුල්ල ද දවා ගැනීමට චාමික ගුණසේකර සමත් වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිමින් ඉනිමේ මේ දක්වා වන එක ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා.
අනතුරු ව පාකිස්තාන ඉනිමට තවත් ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට Mohammad Suleman සහ Haider Ali සමත් වුනා. 4 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ එම සබඳතාව වනුජ සහන් බිඳ දමන්නේ ඒ වෙද්දී පන්දු 75කට මුහුණ දෙමින් ලකුණු 40ක් ලබා සිටි Mohammad Suleman දවා ගනිමිනුයි.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නැවතත් ක්රියාත්මක වූ වනුජ සහන් Haider Ali ද පිටියෙන් ඉවත් කරනවා. ඒ වෙද්දී ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
තරගය 2 වැනි දිනයට නතර කරන විට Hussain Talat නොදැවී ලකුණු 18ක් ද සහ Ghazi Ghori නොදැවී ලකුණු 5ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටිනවා.
කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත් අතර නිපුන් ධනංජය, චාමික ගුණසේකර සහ ඉසිත විජේසුන්දර කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (79.0) අහන් වික්රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, Khurram Shahzad 6/30, Ahmed Safi Abdullah 2/100
පාකිස්තාන A කණ්ඩායම – කඩුලු 5ක් දැවී 212 (71.0) Abdul Faseeh 59, Ali Zaryab 32, Mohammad Suleman 40, Haider Ali 35, Hussain Talat නොදැවී 18, වනුජ සහන් 2/53
හෙට (20) තරගයේ 3 වැනි දිනයයි.
ශ්රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<