පාකිස්තාන A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Sri Lanka A Tour of Pakistan

52
Sri Lanka A Tour of Pakistan

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය අද (14) සමත් වුනා. ඒ සමඟින් ම ඔවුන් තරග 2කින් යුත් සිව්දින නිල නොලත් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ද සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 115කට සීමා වූවා. නමුත් දෙවැනි ඉනිමේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 364ක් ලබා ගැනීමට සමත් වෙමින් තරගයට අවතීර්ණ වීම කැපී පෙණුනා.

කෙසේ වෙතත් සත්කාරක ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 258ත් සමඟින් ඔවුන්ට තරගයෙන් ජයග්‍රහණය කිරීමට 2 වැනි ඉනිමේ දී අවශ්‍ය වූයේ ලකුණු 222ක් පමණයි. එම ලකුණු ප්‍රමාණය කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

තරගය සිව්වැනි දිනයට ආරම්භ වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 364ක් ව තිබියදීයි. ඒ වෙද්දී ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 221ක් ඉදිරියෙන් සිටිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි ව තිබුණත් දිනයේ යැවුණ සිව්වැනි පන්දුවේ දී ශ්‍රී ලංකා ඉනිම එම ඉලක්කයත් සමඟින් හමාර වූවා.

ඊට ගොදුරු වූයේ එතෙක් සාර්ථක ඉනිමක නිරත වී සිටි සොනාල් දිනූෂ. ඔහු ඒ වෙද්දී පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියා. අවසන් පිතිකරු වූයේ විශ්ව ප්‍රනාන්දුයි.

කඩුලු දවා ගැනීමේ දී Khurram Shahzad ලකුණු 70කට කඩුලු 5ක් දවා ගත්තා. පළමු ඉනිමේ දී ද කඩුලු 4ක් දවා ගත් ඔහු ඒ අනුව තරගයේ දී ලකුණු 102කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඊට අමතර ව Kashif Ali සහ Mohammad Suleman කඩුලු 2ක් බැගින් ද Mohammad Rameez jnr කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 32ක් වෙද්දී දවා ගැනීමට ඉසිත විජේසුන්දර සහ විශ්ව ප්‍රනාන්දු සමත් වූව ද එතැන් සිට තරගයේ පාලනය පාකිස්තානුවන් වෙත නතු වූවා.

එහි දී Ali Zaryab සහ Mohammad Suleman එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 158ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. වනුජ සහන් විසින් එම කඩුල්ලේ සබඳතාව බිඳ දැමෙන්නේ Mohammad Suleman දවා ගැනීමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 86ක් ලබා සිටියා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Ali Zaryab පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ද සහ Haider Ali පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (33.1) පසිඳු සූරියබණ්ඩාර 28, සොනාල් දිනූෂ 30, විශාද් රන්දික 18, Khurram Shahzad 4/32, Kashif Ali 5/31

 

පාකිස්තාන A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (82.1) Abdul Faseeh 26, Ali Zaryab 55, Mohammad Suleman 24, Hussain Talat 56, Rohail Nazir 55, විශ්ව ප්‍රනාන්දු 4/44, ඉසිත විජේසුන්දර 2/49, නිසල තාරක 2/57

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 364 (96.0) නිපුන් ධනංජය 28, අහන් වික්‍රමසිංහ 53, පසිඳු සූරියබණ්ඩාර 64, පවන් රත්නායක 60, සොනාල් දිනූෂ 62, වනුජ සහන් 73, Khurram Shahzad 5/70, Kashif Ali 2/79, Mohammad Suleman 2/21

 

පාකිස්තාන A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 222 (53.0) Abdul Faseeh 22, Ali Zaryab නොදැවී 83, Mohammad Suleman 86, Haider Ali නොදැවී 19

පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් සිව් දින තරගය මේ මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා මෙම ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<