ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ 115කට දැවී යයි

Sri Lanka A Tour of Pakistan

44
Sri Lanka A Tour of Pakistan

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර අද (11) Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට වාර්තා කළේ සියලුම දෙනා දැවී ලකුණු 115ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සත්කාරක පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 66ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩාය

පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය, ඔෂද ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, පවන් රත්නායක,  සොනාල් දිනූෂ, විශාද් රන්දික (කඩුලු රකින්නා), නිසල තාරක, වනුජ සහන්,  ඉසිත විජේසුන්දර, විශ්ව ප්‍රනාන්දු.

පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම

Mohammad Huraira (නායක), Abdul Faseeh, Ali Zaryab, Mohammad Suleman, Sameen Gul, Khurram Shahzad, Rohail Nazir (කඩුලු රකින්නා), Haider Ali, Hussain Talat, Mohammad Rameez jnr, Kashif Ali

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමු වෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුනා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නිපුන් ධනංජය සහ ඔෂද ප්‍රනාන්දුයි.

ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 7කට සීමා වූ අතර එහි දී ඔෂද ප්‍රනාන්දු ලකුණකට දැවී යමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු ගොදුර බවට පත් වුනා. අනතුරු ව අහන් වික්‍රමසිංහ (2), නිපුන් ධනංජය (2) සහ පවන් රත්නායක ((0) ද අඩු ලකුණුවලට සීමා වූනා. ඔවුන් තම කඩුලු අහිමි කර ගනිද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 14කට කඩුලු 4ක් ලෙසයි.

වැටී සිටි තත්ත්වයෙන් ඉනිම යම් තරමකින් ගොඩ ගැනීමට නායක පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ 5 වැනි කඩුල්ලේ දී දැක් වූ දායකත්වය විශාල පිටුවහලක් බවට පත් වුනා. ඔවුන් දෙදෙනා පන්දු 74ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කළා.

පසිඳු සූරියබණ්ඩාර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. අනතුරු ව පිටියට පිවිසි විශාද් රන්දික පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සොනාල් දිනූෂ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 90 රැඳී තිබුණා.

යටිපෙළින් පිටියට පිවිසි පිතිකරුවන් අතුරින් ඉසිත විජේසුන්දර පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත් අතර අනෙකුත් පිතිකරුවන් වූ  නිසල තාරක (4), වනුජ සහන් (6) සහ විශ්ව ප්‍රනාන්දු (නොදැවී 1) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී 22 හැවිරිදි වියේ පසුවෙන Kashif Ali ලකුණු 31කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. එම දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරග 9ක හොඳම පන්දු යැවීමයි. ඔහුට අමතර ව Khurram Shahzad ද ලකුණු 32කට කඩුලු 4ක් ද සහ  Hussain Talat කඩුල්ලක් ද දවා ගත්තා.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ලට ද හිමි වූයේ අසාර්ථක ආරම්භයක්. ඉනිම   ආරම්භ කළ Abdul Faseeh සහ Muhammad Hurraira අතුරින් නායක Muhammad Hurraira ලකුණු 6ක දී දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුනා. ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 15 නතර වී තිබුණා.

නමුත් එතැන් සිට 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවක් එක් කිරීමට Abdul Faseeh සහ Ali Zaryab සමත් වුනා. ඔවුන් අතුරින් Abdul Faseeh පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටිය දී වනුජ සහන් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී ගියා.

එතැන් සිට තරගයේ පළමු දිනය අවසන් වෙද්දී තම කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට Ali Zaryab සහ Mohammad Suleman සමත් වුනා. ඒ අනුව දිනය අවසානයේ Ali Zaryab පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද  සහ Mohammad Suleman පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.

පාකිස්තාන ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය විශ්ව ප්‍රනාන්දු සහ වනුජ සහන් අතරේ බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (33.1) පසිඳු සූරියබණ්ඩාර 28, සොනාල් දිනූෂ 30, විශාද් රන්දික 18, Khurram Shahzad 4/32, Kashif Ali 5/31

පාකිස්තාන A කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 66 (24.0) Abdul Faseeh 26, Ali Zaryab නොදැවී 18, Mohammad Suleman නොදැවී 11

හෙට (12) තරගයේ 2 වැනි දිනයයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<