දුශාන් හේමන්ත දකුණු අප්‍රිකානුවෝ අමාරුවේ දමයි

Sri Lanka A tour of South Africa

4
Sri Lanka A tour of South Africa

ලහිරු උදාර, සහන් ආරච්චිගේ, චමිඳු වික්‍රමසිංහ සහ සොනාල් දිනූෂ යන පිතිකරුවන් තම යුතුකම් මනා ලෙසින් ඉටු කරමින් දැක් වූ සහයෝගයත්, දුශාන් හේමන්ත ගේ දක්ෂ පන්දු යැවීමත් එකතු වීමෙන් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි එක්දින තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (02) සමත් වුනා.

තරග 3කින් යුත් මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙර තරගයෙන් ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ, ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය මේ වන විට 2-0ක් ලෙසින් ලෙසින් ජයග්‍රහණය කළා.

සුපුරුදු ලෙසින් ම Potchefstroom හි ම පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 239ක් පමණයි. ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයෙන් ලකුණු 30ක ජයග්‍රහණයක් වාර්තා කළා.

ඊයේ තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ වෙනස්කම් 5ක් සහිතව පිටියට පිවිසීම කැපී පෙණුනා. ඒ අනුව මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ Tony de Zorzi,  Dewald Brevis, , Eathan Bosch, Tristan Luus සහ Lutho Sipamla ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට Mihlali Mpongwana, Andile Simelane, Dayyaan Galiem, Codi Yusuf සහ Nqabayomzi Peter කණ්ඩායමට එක් වූවා.

ශ්‍රී ලංකාව පෙර තරගයට ක්‍රීඩා කරන ලද සුපුරුදු කණ්ඩායම මෙම තරගයට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම

පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර (කඩුලු රකින්නා), කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, දුශාන් හේමන්ත, වනුජ සහන්, මොහොමඩ් ශිරාෂ් සහ එශාන් මාලිංග.

දකුණු අප්‍රිකානු A කණ්ඩායම

Matthew Breetzke (නායක), David Bedingham, Meeka-eel Prince (කඩුලු රකින්නා), Senuran Muthusamy, Mihlali Mpongwana, Andile Mokgakane, Andile Phehlukwayo, Andile Simelane, Dayyaan Galiem, Codi Yusuf සහ Nqabayomzi Peter.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද පළමු කඩුලු 2 දී එතරම් වාසියක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. කමිල් මිෂාර ලකුණු 10කට ද සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 2කට ද තම ඉනිම් නිමා කර ගත්තා.

අනතුරු ව 3 වැනි කඩුල්ලේ දී ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ නායක පසිඳු සූරියබණ්ඩාර සමත් වුනා. පසිඳු සූරියබණ්ඩාර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

අනතුරු ව කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් එක් කිරීමට ලහිරු උදාර සහ සහන් ආරච්චිගේ සමත් වෙනවා. ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූ එය නිමා වෙන්නේ ලහිරු උදාර ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඒ වෙද්දී ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 200 ආ විගස එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ සහන් ආරච්චිගේ ද දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටි අතර ඔහු සොනාල් දිනූෂ හා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ද එක් කර තිබුණා.

අනතුරු ව චමිඳු වික්‍රමසිංහ සහ සොනාල් දිනූෂ 6 වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ගොඩ නගනවා. චමිඳු වික්‍රමසිංහ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද ගිලිහි ගියා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී සොනාල් දිනූෂ පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Andile Simelane සහ Andile Phehlukwayo කඩුලු ද්විත්ය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Senuran Muthusamy, Nqabayomzi Peter සහ Codi Yusuf කඩුල්ලක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු A කණ්ඩායම වෙනුවෙන් නායක Matthew Breetzke පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ 10 වැනි අර්ධ ශතකයයි.

ඔහු Meeka-eel Prince සමඟ 2 වැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් ද සහ Senuran Muthusamy හා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක වුනා.

එහි දී Meeka-eel Prince පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ද සහ Senuran Muthusamy පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද ලබා ගත්තා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ඉනිමේ පිට පිට පන්දුවාර 2ක දී කඩුලු 3ක් දවා ගත් දුශාන් හේමන්ත ප්‍රතිවාදී සත්කාරකයන් ජයග්‍රහණය කරා යන ගමන අවහිර කළා. ඔහු තරගය අවසන් වන විට ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තා.

ඊට අමතර ව වනුජ සහන් කඩුලු 2ක් ද, ඒශාන් මාලිංග, සොනාල් දිනූෂ සහ චමිඳු වික්‍රමසිංහ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 298 (50.0) ලහිරු උදාර 86, පසිඳු සූරියබණ්ඩාර 21, සහන් අරච්චිගේ 52, සොනාල් දිනූෂ නොදැවී 37, චමිඳු වික්‍රමසිංහ 48, Andile Phehlukwayo 2/52, Andile Simelane 2/24

 

දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 239 (41.1) Meeka-eel Prince 44, Matthew Breetzke 74, Senuran Muthusamy 37, Andile Phehlukwayo 24, Andile Simelane 27, වනුජ සහන් 2/52, දුශාන් හේමන්ත 5/48

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 31ක ජයක්.

  • තරගයේ වීරයා දුශාන් හේමන්ත (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ මස 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<