දකුණු අප්‍රිකා සංචාරයට සාර්ථක ආරම්භයක්

Sri Lanka A tour of South Africa

4

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 93ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (31) සමත් වූවා.  

Potchefstroom හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 298ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 205ක් පමණයි.  

ශ්‍රී ලංකා A කණ්ඩායම  

පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර (කඩුලු රකින්නා), කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, දුශාන් හේමන්ත, වනුජ සහන්, මොහොමඩ් ශිරාෂ් සහ එශාන් මාලිංග. 

 

දකුණු අප්‍රිකානු A කණ්ඩායම 

Matthew Breetzke (නායක), David Bedingham, Tony de Zorzi,  Dewald Brevis, Senuran Muthusamy, Andile Mokgakane, Andile Phehlukwayo, Meeka-eel Prince (කඩුලු රකින්නා), Eathan Bosch, Tristan Luus සහ Lutho Sipamla.  

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක ක්‍රීඩකයන්ට පැවැරුවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ.  

ලහිරු උදාර ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 20ක් එක් වෙද්දී ලකුණු 5කට දැවී යනවා. නමුත් එතැන් සිට 2 වැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් එක් කිරීමට කමිල් මිෂාර සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වෙනවා. කමිල් මිෂාර පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 71ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.  

අනතුරු ව සහන් ආරච්චිගේ සමඟ එක් වෙන කමිල් මිෂාර 3 වැනි කඩුල්ලට ද ලකුණු 52ක සබඳතාවක් එක් කරනවා. සහන් ආරච්චිගේ පන්දු 22කට මුහුණ දෙමින් ලකුණු 15කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිදී යනවා.  

පසිඳු සූරියබණ්ඩාර (2) සහ සොනාල් දිනූෂ (9) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගනිද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5කට ලකුණු 200ක් බවට පත් වෙනවා.  

ඉන් අනතුරු ව කඩුල්ලට එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ නුවනිඳු ප්‍රනාන්දු දැවී යද්දී පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක් ලබා සිටියා.  

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රහාරකයා වූයේ චමිඳු වික්‍රමසිංහ යි. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Andile Phehlukwayo සහ Tristan Luus කඩුලු 3ක් බැගින් දවා ගත් අතර Eathan Bosch කඩුලු 2ක් ද සහ Lutho Sipamla කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිස සත්කාරක දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Tony de Zorzi. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා. 

ඊට අමතර ව Dewald Brevis පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ද සහ Eathan Bosch පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත සහ වනුජ සහන් කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර චමිඳු වික්‍රමසිංහ, සොනාද් දිනූෂ සහ මොහොමඩ් ශිරාෂ් කඩුල්ලක් බැගින් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

 

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 298 (50.0) කමිල් මිෂාර 71, නුවනිඳු ප්‍රනාන්දු 97, චමිඳු වික්‍රමසිංහ 55, Tristan Luus 3/72, Eathan Bosch 2/60, Andile Phehlukwayo 3/38 

 

දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 205 (36.5) Tony de Zorzi 53, Matthew Breetzke 28, Dewald Brevis 39,  Meeka-eel Prince 24, Eathan Bosch නොදැවී 32, වනුජ සහන් 3/41, දුශාන් හේමන්ත 3/34 

 

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 93ක ජයක්.  

  • තරගයේ වීරයා – නුවනිඳු ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<